Friday, August 10, 2012

බුදු සසුන පිරිහුණේ ඇයි? - ජාතක පොතෙන් පමණක් බණ කීම




ලක්දිව බුදු සසුන පිරිහි, පිරිසිදු භික්ෂුව අතුරුදන්ව පැවති යුගයක් විය. එකළ විහාරාරාම වල අමතු ස්වරුපයේ පැවිද්දෝ සිටියහ. ඔවුන් හැදින්වුයේ ගණින්නාන්සේලා නමිනි. ඔවුන් පිළිබද ව, වාචිස්සර හිමිපාණන් ගේ අදහස මෙසේ ය....

ගණින්නාන්සේ ලා සිව්රක් පොරවාගෙන එයට උඩින් බද පටියක් බැද සිටීම සාමාන්‍ය සිරිත විය. සමහරු යටින් කහවතක් හැද එයට උඩින් රෙද්දක් හැද සිටිය හ. ඇතැම් ගණින්නාන්සේ ලා කාමභෝගී ගිහියන් මෙන් විසූහ. විහාරය අසලම ගෙයක් කොට එහි විසූ ඇතැම් ගණින්නාන්සේ ලා අඹු දරුවන් පෝෂණය කළහ. ඔවුන් විසූ ගෙදර ගණේගෙදර, විහාරේගෙදර, ගණේවලව්ව, විහාරේ වලව්ව ආදී නම්වලින් ප්‍රසිද්ධ විය. ඔවුන්ගේ දරුවන් හදුන්වනු ලැබුවේ ‘ගණ ගැටයන්‘ ලෙස ය.

ගණින්නාන්සේලා බණ කීමේ දී වැඩි වශයෙන් භාවිත කළේ ජාතක පොත ය. වෙස්සන්තර ජාතකය හෝ වෙනයම් කිසි ජාතකයක් මිහිරි හඩින් කියා එය තේරුම් කරදීම ඔවුන්ගේ සිරිත විය. අසා සිටියනට එය අවබෝධ වූයේ කලාතුරකිනි. යුගාසන ධර්ම දේශනා ක්‍රමය ද මෙකල ජනප්‍රිය වූ දේශනා ක්‍රමයකි. එක් ගණින්නාන්සේ කෙනෙකු උඩැක්කියක් වැයු අතර තව කෙනෙකු මිහිරි හඩින් වෙස්සන්තර ජාතක කවි කියමින් මුලු රෑ එලිවන තුරු කළ ධර්ම දේශනය එකළ දම් දෙසුම් අතර උසස් තැනක් ගත්තේ ය. චූර්ණිකා සංග්‍රහ ආදියෙන් යුක්ත කොට, වෘත්තගන්ධි ශෛලියෙන් රචනය කොට ඇති සූත්‍ර දේශනා වල ආරම්භයත් මොවුන්ගේ සමයෙහි සිදු විය.


උපුටනය...
පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
සරණංකර සංඝරාජ සමය පොතෙන්


පසු විපරම
-----
මෑතක් වන තුරුම ලක්දිව ජනප්‍රිය ව තිබුනේ ජාතක බණ ය. අභිධර්ම දේශනාවක් ඉද හිට අසන්නට තිබුණ ද, සූත්‍ර ධර්මයක් නම් ඇසුනේ ම නැති තරම් ය. විනය පිටකය තබා සාමණේර දස සීලය වත් ආරක්ෂා නොකළ ගණින්නාන්සේලා ට ඉතිරි වූයේ නම්, ජාතක පොත පමණි. ඔවුන් එයින් බණ කීවාහුය. ඒ ආභාෂය සහ රැල්ල අනුව 90 දශකය පුරා අපහට අසන්නට ලැබුණේ ඒ ජාතක බණ පොත් ම ය. ඒ අනුව එකල දහම් පාසල්... පාසැල්... බුද්ධ ධර්මය පොත් වල පිටු ජාතක කතා වලින් පිරී තිබුණි. මධුපිණ්ඩික ලෝණඵල පමණක් නොව, අනන්ත ලක්ඛන සූත්‍රය යනු කුමනාකාරයේ සූත්‍රයක් දැයි හෝ නොදත් දරු පිරිසක් බිහි විය. මහින්දාගමනයත් සමගින් ත්‍රිපිටකයෙන් බණ කී මිහිදු හිමිගේ ඇරඹුම... ගණින්නාන්සේලාගේ අදුරු යුගය හරහා ... 90 දශකය වන විට පරිණාමණය වී පත්ව තිබුණේ මෙවන් තත්වයකට ය. ශ්‍රාවකයාට ද ඉන් එහාට අවශ්‍ය දෙයක් නොවීය. ජාතක බණක් අසා නැගිට යාමට වඩා යමක් දහමේ පවතී යැයි ඔවුන් දැන සිටියේ ද නැත. අවබෝධ කළ යුතු දහම බොහෝ ගැඹුරු යැයි මතයක් ඔවුන් තුළ විය. ඒ නිසා.. ත්‍රි හේතුක ප්‍රතිසන්ධි නොමැති, බැවින් ධර්මය පුරුදු කිරීම පමණක් නොව, අවබෝධ කළ යුතු ධර්මය කුමක්දැයි ශ්‍රවණය කිරීම පවා මෛත්‍රි බුද්ධ ශාසනයට කල් දමා, බත් තම්බා දන් දී පින් කරගැනීමේ සීමාවේ පමණක් සිටියෝ හ. අවසානයේ ඔවුන්ට පන්සල අවැසි වූයේ, මිය ගිය ඥාතියාට පින් පිණිස දන්පැන් පිදිම පිණිසත්, දහම් පාසැලටත්, පිරිතටත්, පාංසුකුලයටත්, ලාභයක් අවැසිවු විට හෝ බියපත් වු විට බෝධිපුජාවත් තබාගැනිමටත් වැනි එකකට දෙකකට පමණි. ඉන් එහාට විහාරස්ථානය ගැන සොයා බැලුවේ ප්‍රධාන දායක අතලොස්ස පමණි. ඒ නිල බලයෙන් එසේ කළ යුතු ව තිබූ නිසා ය. මේ ලිහිල් වීමත් සමග ජනයා ගෝලියකරණයත් සමග මෙරටට ගොඩබැසගත් ජනප්‍රිය හොලිවුඩ්-බොලිවුඩ් සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු විය. එය වළක්වාලිමට තරම් කුසල් බලයක් ඉන්ද්‍රිය දමනයක් නොතිබුණු බැවින්, එදා හෙළ දිව වැසියන් මෙදා බොහෝ සංකර ගතිපැවතුම් සහිත විකෘති සංස්කෘතියක පුරුක් බවට පත් විය. ධම්මානුධම්ම පටිපදාවෙන් ශ්‍රාවකයා බැහැර නොවී සිටියා නම්, අදත් අප සමාජය තුල ව්‍යුත්පන්න වන්නේ පැරණී බෞද්ධ සංස්කෘතිය ම ය. එය නවීන මුහුණුවරකින් තිබෙනු ඇත. එනමුත්, අකුසල ධුමාරය නොවැදී... යන්තමින් හෝ කුරුවල් වී නොතිබෙනු ඇත.


මේ තත්වය මධ්‍යස්ථව විචාරා මිනිසාගේ යහපත පිණිස මිස අයහපත පිණිස පවතින කිසිදු සංස්කෘතියක් අප විසින් ශක්තිමත් නොකළ යුතු ය. සංඝයා විසින් බුදු සසුන හදුනාගන්නා තත්වයට පත් කිරීමටත්, ත්‍රිපිටකය රජකරවන මුනිවරුන්ගේ සසුනක් බිහි කරවීම පිණිසත්, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලිව පෙරගමන් කළ යුතු ය.

‘චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං‘

තෙරුවන් සරණයි!!!

No comments:

Post a Comment