Friday, August 10, 2012

මුලින්ම බුදු පිළිම නිර්මාණය වුණේ ඉන්දියාවේ

ලාංකීය බුද්ධ ප්‍රතිමාව අමරාවති සම්ප්‍රදායට නෑකම් කියනවා

මහාචාර්ය පී.එල්. ‍ප්‍රේමතිලක

බරණැස ඉසිපතන මිගදාය
මුලගන්ධකුටි විහාරය තුල අනගාරික ධර්මපාලතුමා විසින් තැන්පත් කර ඇති
රන්වන් සාරනාත් බුද්ධ ප්රතිමාව
- පැරණි සාරනාත් බුදු පිළිමයහි අනුරුවකි -




ඉහත අමරාවති පිළිම කලාවට අනුව නිර්මිත මුල් යුගයට අයත් අනුරපුර සමාධි බුදුරුව


මහාචාර්යතුමනි, මෙරට ප‍්‍රතිමා කලාව ගැන සාකච්ඡාවකට මුල පුරද්දි මුලින් ම මොනවද ඔබට කියන්න පුළුවන් කාරණා?
අපේ මූර්ති කලාව ආගමික හා අනාගමික යනාදි වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා. ආගමික මූර්තිත් බුදුසමය හා හින්දු සමය විදියටත් බෙදන්න පුළුවන්. බුදු සමයට අයත් ශ්‍රේෂ්ඨතම මූර්තිය තමයි බුදු පිළිමය. මෙරට බෞද්ධ ප‍්‍රතිමා කලාවේ මුදුන්මල්කඩ තමයි බුද්ධ ප‍්‍රතිමා. (අනාගමික මූර්ති අතර රජවරුන්ගේ ප‍්‍රතිමා දක්නට ලැබෙනවා) බුදු පිළිම උද්දේශික චෛත්‍ය ගණයෙහිලා සලකන්න පුළුවන්. අපේ බෞද්ධයන් ශාරීරික, පාරිභෝගික හා උද්දේශික වශයෙන් චෛත්‍ය, බෝධි, බුද්ධ ප‍්‍රතිමා, දළදා ආදි වස්තූන්ට වැඳුම් පිඳුම් කිරීමට ඇබ්බැහිව සිටියා.

මුල් ම බුදු පිළිමය පැරණි සිංහලයන්ගේ නිර්මාණයක් බව ඩී.ටී. දේවේන්ද්‍ර, මහාචාර්ය සිරි ගුනසිංහ වැනි විද්වතුන් මත පළ කරලා තිබෙනවා?
ඒ මතය පිළිගන්න බැහැ. මුලින්ම බුදු පිළිම නිර්මාණය වුණේ ඉන්දියාවේ.

අපේ මූර්ති ශිල්පීන් ඉන්දියාවට ගිහින් එහි බුදු පිළිම නෙළුවයි කියල හිතන්න බැරි ද?නැහැ. ඒකට කිසිම සාක්ෂියක් නැහැ.

බුදු පිළිම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මූලික සම්ප‍්‍රදායයන් දෙකක් තිබෙනවා නේද?
ඔව්. එකක් ගාන්ධාර සම්ප‍්‍රදායය. අනික මථුරා සම්ප‍්‍රදායය. මේ දෙකම අයිති උතුරු ඉන්දියාවට.


මේ සම්ප‍්‍රදායයන් කොච්චර පරණ ද?
ද්‍රව්‍යමය සාධකවලින් පේන්නේ කි‍්‍රස්තු වර්ෂාරම්භයේදී හෝ ඊට මඳක් පෙරාතුව ඉන්දියාවේ බුදු පිළිම නිර්මාණය වූ බවයි.


ගාන්ධාර - මථුරා සම්ප‍්‍රදායන් දෙකේ මොනවද තිබෙන වෙනස්කම්?
ගාන්ධාර සම්ප‍්‍රදායය ගී‍්‍රක, රෝම කලා සම්ප‍්‍රදායයන් ගුරුකොට ගත්තා. ගාන්ධාර සම්ප‍්‍රදායයට අයත් බුදු පිළිම හරියට ඇපොලෝ දෙවියන් වගේ. මථුරා සම්ප‍්‍රදායයේ තියෙන්නේ දේශීය ලක්ෂණ. මථුරා සම්ප‍්‍රදායයේ මුල් ම බුදු පිළිම යක්ෂ රූප, නාග රූපවලම වර්ධනයක්. යක්ෂ රූපවල තිබුණේ යක්ෂයාගේ අතක් ඉනේ බැඳගෙන. ඒ විදියටම තමයි බුදු පිළිම නිර්මාණය වුණෙත්.

මෙයින් වඩාත් ම පැරැණි මොකද්ද ?
දෙකම එක වගෙ කාලෙක තමයි ආරම්භ වුණේ.

මේවායින් අපිට බලපාලා තියෙන්නේ මොන සම්ප‍්‍රදායය ද?

මේ සම්ප‍්‍රදායයන් ආන්ධ‍්‍ර ප‍්‍රදේශයේ අමරාවති හා නාගර්ජුනකොණ්ඩ වැනි ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වුණා. අපිට බලපෑවේ ඒ අමරාවති සම්ප‍්‍රදායය. කොහොම වුණත් භාරතිය කලා සම්ප‍්‍රදායයේ ආභාසය අපේ රටට විතරක් නෙමෙයි බුරුමය, සියම, කාම්බෝජය, ජාවා වැනි රටවලට ද ලැබුණා. ඒ ඒ රටවල බෞද්ධ කලා නිර්මාණ පිරික්සීමෙන් එය වටහාගන්න පුළුවන්.

ඔබ කියන්නේ ඉන්දීය මූර්ති ශිල්පීන් මෙරටට ඇවිත් බුදු පිළිම නෙළුවයි කියල ද?
නැහැ. ඔවුන් මෙහි ඇවිත් බුදු පිළිම තැනු බවට කිසිදු සාක්ෂියක් නැහැ. ඒ කාලේ දකුණු ඉන්දියාවත් එක්ක අපේ යම් යම් සම්බන්ධකම් තිබුණනේ. එකල නාගර්ජුනකොණ්ඩයේ සිංහල ආරාමයක් තිබුණයි කියලත් කියනවනේ. ඊට මඳ කලකට පස්සේ සමුද්‍රගුප්ත රජුන්ගේ කාලයේත් අපේ භික්ෂුන් වහන්සේලා සඳහා එහේ ආරාමයක් තිබුණයි කියලා කියනවා. ඉතින් ඒ සම්බන්ධකම් තිබුණා.

ශී‍්‍ර මහා බෝධියත් එක්ක අටළොස් ශිල්ප කුල මේ රටට ආවනේ. ඔවුන් අතර බුදුපිළිම නෙළන ශිල්පීන් ඉදලා නැද්ද?
එවැන්නක් ගැන සඳහන් වෙන්නේ නැහැ.

අපේ බුදු පිළිමවල ඉතිහාසය කොයිතරම් දුරකට ඈතට යනව ද?

වංශ කතාවල සඳහන් වන විදියට කි‍්‍ර.පූ. තුන්වැනි සියවසේදී විතර මේ රටේ බුදු පිළිම තිබිලා තියෙනවා. නමුත් ඒ තිබුණයි කියන එකට තවම පුරා විද්‍යාත්මක සාධක හමුවෙලා නැහැ.

දැනට අපේ රටෙත් සොයා ගෙන තිබෙන පැරණි ම බුද්ධ ප‍්‍රතිමාව මොකද්ද?

අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයේ ආසනඝර භූමියෙන් සොයාගත් සමාධි ප‍්‍රතිමාවක් තිබෙනවා. (මේක බෝධිඝරයක්). ඒක හුඟාක් පරණයි. එය කි‍්‍රස්තු වර්ෂ දෙවැනි, තුන්වැනි සියවසට විතර අයත් යයි හිතන්න පුළුවන්. මේ ප‍්‍රතිමාව දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තිබෙනවා. එහෙත් දැන් ඒ ප‍්‍රතිමාව තියෙන්නේ බොහෝම දුර්වල තත්ත්වයක. ස්වභාවික හේතු මත එය විනාශ වෙමින් පවතිනවා. ඒ හැරුණුකොට මහඉලුප්පල්ලමේ තියෙන හිටි පිළිමයත් බොහෝම පරණයි. ඒකත් අර කාලයටම අයිතියි. මැදිරිගිරිය, මැණික් වෙහෙර, දඹුල්ල වැනි තැන්වල තියෙන හිටි පිළිමවලට පූර්වාදර්ශයක් වෙලා තියෙන්නේ මේ බුද්ධ ප‍්‍රතිමාව යැයි හිතන්න පුළුවන්.

මිහිඳු ආගමනයට පෙර අපේ රටේ බුදු පිළිම තිබු බවට සාක්ෂි නැද්ද? බුදුන් වහන්සේ තෙවරක් මෙරටට වැඩියයි කියලා බෞද්ධයන්ගේ විශ්වාසයක් තිබෙනවා. ඒ අනුව සලකල බැලුවොත් බුදු පිළිම වන්දනාවක් ඊට කලින් තිබිලා නැද්ද?

ඔය කියන කාලයේ මේ රටේ බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය වෙලා නැහැ.

ඔබ නැවතත් කියන්නේ අපේ පැරණි බුදු පිළිම සිංහල අපේ ම නිර්මාණ කියල ද?

බුදු පිළිම නිර්මාණ පිළිබඳ මූල බීජය ඉන්දියාවේ ඇතිවුණාට ඒක ඉන්දියාවටත් වඩා වෙනස් විදියකට වර්ධනය කළේ ශී‍්‍ර ලාංකේය ශිල්පීන්. මුලින් ආන්ධ‍්‍ර ශෛලියේ ලක්ෂණ තිබුණා. පසුව එය ස්වාධීනව වැඩුණා. මොකද ඉන්දීය බුදු පිළිමවල නැති ස්වාධීන ලක්ෂණ අපේ බුදුපිළිමවල තියෙනවා.

මොනවද ඒ අනන්‍ය ලක්ෂණ?

සරල හා චාම් බව. අනික උත්තම ගණයේ බුද්ධ ප‍්‍රතිමාවක් නෙළන්න නම් බුද්ධ චරිතය ගැන, බුදු දහම ගැන ගැඹුරු වැටහීමක් එය නිර්මාණය කරන කලාකරුවාට තියෙන්න ඕනැ. නැතිනම් බුදු පිළිමයකින් දැක්විය යුතු මහා පුරුෂ හා මහා යෝගී ලක්ෂණ, ආධ්‍යාත්මික ගුණ වගාව හා ප‍්‍රඥාව දක්වන්න බැහැ. එහිදි ඉන්දීය ප‍්‍රතිමා ශිල්පියාට වඩා අපේ ප‍්‍රතිමා ශිල්පියා ඉදිරියෙන් ඉන්නවා.

ස්තූප, සදකඩ පහණ, වටදා ගේ, බෝධිඝර මේවාත් ඉන්දියාවේ නැති, දේශීය කලාකරුවන්ගේ ස්වීය නිර්මාණ විදියට නේද සැලැකෙන්නේ?
ඔය හැම දේකම මූල බීජය ඉන්දියාවේ. අපි කළේ එය වර්ධනය කිරීමයි. වර්ධනය කරලා අපේ නිර්මාණ බවට පත්කර ගැනීමටයි. ඒක කරලා තියෙන්නේ මාර්ටින් වික‍්‍රමසිංහයන් වරක් කියලා තියෙන විදියට අපේ අදීනත්වය දැක්වෙන පරිද්දෙන්.

අපේ ශ්‍රේෂ්ඨතම බුද්ධ ප‍්‍රතිමාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ තිබෙන සමාධි බුදු පිළිමය කියලයි බොහෝදෙනා කියන්නේ? තවත් සමහරු පොලොන්නරු ගල් විහාරයේ බුදු පිළිමය ශ්‍රේෂ්ඨත්වයෙහිලා සලකනවා.

ඒ ඔක්කෝට ම වඩා ශ්‍රේෂ්ඨ බුදු පිළිමයක් පුවරසන්කුලමෙන් හොයාගත්තා. දැන් ඒක තියෙන්නේ අනුරාධපුර කෞතුකාගාරයේ. ඒක මට නම් සමාධි පිළිමයටත් වඩා ශ්‍රේෂ්ඨයි. දේහ ලක්ෂණ පෙන්වීමේදී පරිමාණයේ සමබර බව රැකගෙන ඇති ආකාරයේ සමහර ලක්ෂණ අතින් එය අනුරාධපුරයේ වෙනත් ප‍්‍රතිමා සියල්ල අභිබවනවා. මම මේ බුදු පිළිමය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන්ට පෙන්නුවා. උන්වහන්සේ මට කිව්වෙ මොකද්ද දන්නව ද? “අප්පච්චියේ කොහිද සර් මේක තිබ්බේ? අපි මෙච්චර කල් දැක්කේ නැහැනේ මේක”

තවත් මොනවද ඒ වගේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප‍්‍රතිමා?

ඇයි මාළිගාවිල? ඒක අපේ රටේ උසම බුදු පිළිමයනේ. (උස අඩි 41 අඟල් 10) එහි අනිත් විශේෂත්වය තමයි වෙනම ගල් කුට්ටියක් අරන් ඒකේ පිළිමය නිර්මාණය කර තිබීම.

බුදුරුවගල, අවුකන, සැස්සේරුව වගේ තැන්වල ස්වභාවිකව තිබුණු ගලේ ම නෙළපු ප‍්‍රතිමානේ තියෙන්නේ. මාළිගාවිලටත් වඩා උස බුදු පිළිම බාමියන්වල තිබුණා. අඩි 175 ක් පමණ උස බුදු පිළිමත් බාමියන්වල තිබුණා. එහෙත් ඒවත් ස්වභාවිකව තිබුණු ගලේම නෙළපු ප‍්‍රතිමා. ඒ අනුව ලෝකයේ උසම බුදු පිළිමය මාළිගාවිල බුදු පිළිමය යැයි කියන්න පුළුවන්. අවුකන, තොලුවිල, වෙහෙරගල, සැස්සේරුව, බුදුරුවගල මේවත් බොහෝ ම ශ්‍රේෂ්ඨ බුද්ධ ප‍්‍රතිමා.

පොලොන්නරු ගල් විහාරයේ හිටි පිළිමය බුදුන්ගේ නොව ආනන්ද තෙරුන්ගේ යැයි සමහරු කියනවා මා අසා තිබෙනවා.

එහෙම මතයක් තියෙනවා. සැතපෙන පිළිමයට සමීපවම තිබෙන නිසා ඒක බුදුන් වහන්සේගේ යාවජීව උපස්ථායකයා වූ ආනන්ද තෙරුන්ගේ යැයි මත දක්වනවා. එහෙත් අපේ මතය වන්නේ එය බුදුන්ගේම බවයි. බුදුරජාණන් වහන්සේ අනිමිසලෝචන පූජාවේ යෙදී සිටින ආකාරයයි ඉන් නිරූපණය වන්නේ.

අපේ රටේ කිසිම බුදු පිළිමයක එහි නිර්මාණය කාගේදැයි කොතැනකවත් සඳහන් වන්නේ නැහැ?
එසේ සඳහන් වන එක තැනක් තිබෙනවා. ඒ නිල්ලග්ගම කියන ස්ථානයේ (අවුකනට කිට්ටුව) පැරණි බෝධිඝරයක ශිල්පියාගේ නම ඒ අසලම ඇති සෙල් ලිපියක ලියා තියෙනවා. ඒක විශේෂ තැනක්.

මහායාන බලපෑමට හසුවුණු බුදු පිළිමත් අපේ රටේ දක්නට ලැබෙනවා?
බුදුරුවගල මහායානික බලපෑම තිබෙන තැනක්. එය සුවිසි බුදුන්ගෙන් පළමුවැනියා වූ දීපංකර බුදුන්ගේ පිළිමයක් විදියටත් සමහරුන් විශ්වාස කරනවා. එහෙත් අපේ රටේ වැඩියෙන් ම තියෙන්නේ ථෙරවාදි බුදු සමයට අයත් ශාක්‍යමුනි බුද්ධ රූප. මොකද මහායාන බලපෑම බොහෝම අඩුවෙන් තමයි අපේ රටට ඇතිවුණේ. අපේ රටේ මහායානය පැතිරීමත් එක්ක බෝධි සත්ව වන්දනාවත් ප‍්‍රචලිත වුණා. අවලෝකිතේශ්වර, මංජු ශී‍්‍ර, තාරා වැනි මහායානික බෝසත් රූප නිර්මාණය වුණේ ඒ අනුවයි. වෙහෙරගලින් සොයා ගත් අවලෝකිතේශ්වර ලෝකඩ පිළිමය ලෝක මූර්ති නිර්මාණ අතර සුවිශේෂ තැනක් හිමිකර ගන්නවා.

ඒ අනුව ලංකාවේ බුද්ධ ප‍්‍රතිමා ධම්ම රුචි සම්ප‍්‍රදායය හා මහා විහාර සම්ප‍්‍රදායය යනුවෙන් ආචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ කරන වර්ගීකරණයට එකඟ වෙන්න පුළුවන් ද?
ඔව් බැරිකමක් නැහැ.

බුදු පිළිම හා සම්බන්ධයෙන් ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය සෙනරත් පරණවිතාන වැනි විද්වතුන් දක්වලා තියෙන මත එක්ක ඔබට එකඟ ද?
ඔව්. ආනන්ද කුමාරස්වාමි වෘත්තියෙන් භූ ගර්භ විද්‍යාඥයෙක්. මහාචාර්ය පරණවිතාන වෘත්තියෙන් ගුරුවරයෙක්. එසේම උපතින් බෞද්ධයකු නොවු කෙනෙක්. මේ අය මහත් කැපවීමකින් යුතුව පුරා විද්‍යාව, කලා ඉතිහාසය හදාරලා ඉදිරිපත් කරපු මතිමතාන්තරවල කුමන අඩුපාඩුකම් තිබුණත් ඔවුන්ගේ පුරෝගාමි මෙහෙවර අපි අගය කරන්න ඕනැ.

පසු වදන
---------

මහාචාර්ය පී. (පාලිත) එල්. (ලීලානන්ද) පේ‍්‍රමතිලක පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අංශාධිපතිවරයා ය. ‘පැරණි ඉන්දීය ඉතිහාසය හා පුරා විද්‍යාව‘ යන විෂයය යටතේ ලියු නිබන්ධයට කල්කටා විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත‍්‍රපති (MA) උපාධිය හිමිකරගත් ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් දර්ශනශූරී (PHD) උපාධිය හිමිකරගත්තේ ය. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ නිබන්ධය වූයේ ‘පුරාණ වාස්තු විද්‍යාව සහ මූර්ති ශිල්පයයි.’ අනුරාධපුර යුගය ඊට පසුබිම් විය.

සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් පේරාදෙණි විශ්ව විද්‍යාලයයට බැඳුණු මහාචාර්ය පේ‍්‍රමතිලක අවසානයේ එහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපතිවරයා බවට පත්වූයේ ය. ඔහු මහාචාර්ය සෙනරත් පරණවිතාන සමග සමකාලීන ව සේවය කර තිබීම සුවිශේෂත්වයක් වන්නේ ය.
මහාචාර්ය පේ‍්‍රමතිලක වඩාත් කීර්තිමත් වූයේ 1982 දී සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව ආලාහන පිරිවෙනේ කැණීම් කටයුතු කිරීමෙන් සොයා පාදාගත් භික්ෂු රෝහල නිසාවෙනි. එය 12 වැනි සියවසට අයත් වූවක් බව නිර්ණය කෙරිණි.

නාලන්දා ගෙඩිගේ, මහවැලි කඩිනම් සංවර්ධනය යටතේ බෝවතැන්න ජලාශයට යටවන්නට නියමිත ව තිබුණෙන් එය උස් බිමක ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා මූලික ව කටයුතු කළේ ද මහාචාර්ය පේ‍්‍රමතිලක ය. එය විශ්මය ජනක කි‍්‍රයාවක් බව කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයයේ ආචාර්ය රේමන් ඕල්වින් හා ආචාර්ය බි‍්‍රජට් ඕල්වින් යන අය ප‍්‍රකාශ කර ඇත.

දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු එහි මුඛ මණ්ඩපයේ පිපිරී ගිය බිත්තිවල නරේන්ද්‍රසිංහ රජුගේ යුගය තෙක් දිවෙන පැරණි චිත‍්‍ර සොයා පාදාගෙන ඒවා විවරණයට ලක් කිරීමෙහිලා මහාචාර්ය පේ‍්‍රමතිලක මැදිහත් වූයේ ය. ‘දළදා මාළිගාවේ නව සොයා ගැනීම් - පැරණි බිතුසිතුවම්’ (2000) නම්වූ ග‍්‍රන්ථයේ සම කර්තෘවරයකු වූයේ ද මහාචාර්ය පේ‍්‍රමතිලක ය. එසේම ඔහු ‘ශී‍්‍ර ලංකා බිතුසිතුවම් - බුද්ධ’ නම්වූ ග‍්‍රන්ථයේ ද සම කතුවරයෙක් වෙයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක අධ්‍යක්ෂවරයකු වූ මහාචාර්ය පේ‍්‍රමතිලක ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥයකු හා කලා ඉතිහාසඥයකු ලෙස විද්වත් බුහුමන් ලබයි.





No comments:

Post a Comment