Tuesday, August 7, 2012

බුදු සසුන පිරිහුණේ ඇයි? - රාජාරක්ෂාව නැති වීම -




“බුදු සසුන මැනවින් දියුණු වුයේ එයට අවශ්‍ය බලවත් රජුගේ රාජාරක්ෂාව සැලසුනු කාල වලදී ය. ධර්මාශෝක, දෙවනපැතිස්, දුටුගැමුණු, ආදි රජවරුගේ රාජ්‍ය කාල වල දී බුදු සමය ඉතා උසස් අන්දමින් දියුණු වි තිබුණු බැව් ඉතිහාස කතා වලින් පැහැදිලි වේ. එයට හේතුව ඒ රජවරුන් බුදු සසුන රැකිම මෙන් ම දියුණු කිරිම සදහා ද අප්‍රතිහත ධෛර්‍යකින් ක්‍රියා කිරිමය. බුදුන් පිරිනිවි සමයෙහි අජාසත් රජු වැනි බලවත් රජකු ඉන්දියාවේ නොසිටියා නම්, සුභ්‍රද්‍රාදී අලජ්ජීන්ගේ බලය වැඩි විමෙන් බුද්ධ ධර්මය ඒ කාලයේ දී ම නැති වන්නට ඉඩ තිබුණි. මෙයින් අවබෝධ වන්නේ බුද්ධාගමයෙහි දියුණුවට රාජාරක්ෂාව අවශ්‍ය බවය. 
ලංකාවේ සොළොස් වැනි සියවසෙන් පසු ව ඇති වූ රජුනට බුද්ධාගමය රැකිමට අවස්ථාවක් නොලැබුණේ ඔවුනට සිය රජය රැක ගැනීමට බලවත් අරගලයකට මුහුණ පාන්නට සිදු වූ හෙයිනි. පළමු සහ දෙවන විමලධර්මසූරිය රජවරු බුද්ධාගම දියුණුවට ක්‍රියා කළ නමුදු ඔවුන් තුල බුද්ධාගම පිළිබද අල්පමාත්‍ර දැනිමක් වත් නැති වූ හෙයින් එයින් වැඩක් නොවීය. සෙනරත් සහ දෙවන රාජසිංහ යන රජවරුනට ස්වදේශිකයන්ගෙන් මෙන් ම විදේශිකයන්ගෙන් ද ඇති වූ අවුල් වලට මුහුණ පාන්නට සිදු විම නිසා බුදු දහම රැකිමට ඔවුනට ඉඩක් නොලැබුණේ ය. විර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු ද බුද්ධාගමය නමින් පමණක් ඇදහූ බුදු දහම ගැන කිසිත් නොදත් විනෝදකාමියෙකු වු හෙයින් ඔහු සැළකුයේ පන්සල්, වෙහෙර විහා ර ආදිය සැදිමෙන් සහ භික්ෂුන්ට ඉඩ කඩම් බෙදා දිමෙන් පමණක් රටේ බුදු දහම දියුනු වෙතියි කියා ය.

මින් පසු ඇති වූ නායක්කාර් වංශයේ රජුන් බුද්ධාගමය වැළද ගත්තේ ඒ මගින් මහ ජනයා රවටා සිය රාජ්‍ය බලය තහවුරු කරගැනිමේ අදහසින් මිස බුද්ධාගමට ඇති භක්තියකින් නොවේ. ඔවුන්ගේ පැරණි ආගමය ද ඔවුන් අත් නොහළ බව මොලදණ්ඩේ විප්ලවයෙන් පැහැදිලි වේ. භික්ෂුන් වහන්සේ ඉදිරියේ දී භක්තිමත් බෞද්ධයන් වශයෙන් ක්‍රියා කරමින් රාජ මාලිගය අසල ම සිය බිසෝ වරුන් සහ වඩුග ඇමතියන් වෙනුවෙන් කෝවිල ඇති කිරිමට තරම් ඔවුහු නිර්භය වූහ. නියම බුද්ධාගම කුමක් දැයි එකල භික්ෂුන්ට ද හරිහැටි නොවැටහුනු හෙයින් නායක්කර්වරුන්ගේ ඒ ව්‍යාජ බුද්ධාගම වටහාගත නොහැකි ව භික්ෂූන් ද ඔවුනට ම ආ වැඩු බව පෙනේ. කිත්සිරි රජු මැරවීමට මල්වත්තේ විහාරයේ දී කළ කුමණ්ත්‍රණයෙන් හෙළි වන්නේ පසුකළෙක මෙරට සිටි භික්ෂුන්ට සහ ජනප්‍රධානයන් හට ද නායක්කර් වරුන්ගේ ඒ කපටි ක්‍රියා මාර්ගය හෙළි වූ බවයි.

මේ යුගයේ සිටි රජුන් වැඩි දෙනෙකුන් බුද්ධාගමය නොදත් නිසා ම බෞද්ධ භික්ෂූන් ලවා බුදු සසුන වවනු වෙනුවට කලේ ඔබ ලවා තම රාජ්‍ය කටයුතු කරවා ගැනීම ය. මේ නිසා ම මේ යුගයේ ඇතැම් භික්ෂූන් රජුගේ තානාපතීන් වශයෙන් ද... දිසාපතිවරුන් සහ බස්නායක වරුන් මෙන් ම පුරෝහිතයන් වශයෙන් ද ක්‍රියා කොට තිබේ. මෙයින් සිදු වුයේ රජුන්ට කත් අදිමින් සිටි, ඔවුනට ම ආ වැඩු, දුසිල් මහණුන්ගේ බලය වැඩි වීමෙන් ලජ්ජීභික්ෂුවට තැනක් නැති වී යාම ය. මේ කරුනු අනුව සලකන කළ පෙනී යන්නේ බුද්ධාගමය දත් ධාර්මික රජුන්ගේ ආරක්ෂාව නැති වි යාම බුද්ධාගමයේ පරිහාණියට ප්‍රධාන හේතුව (ක්) වූ බවය. මෙකල සිටි එක ම රජෙකුට වත් පිරිහි යන බුදු දහම නගා සිටුවිමට අවශ්‍ය ධර්මඥානයත්, ස්ථිර රාජ බලයත් නොතිබුණේ ය...“

උපුටනය...
පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
සරණංකර සංඝරාජ සමය පොතෙන්

පසු විපරම
-----
වාචිස්සර නා හිමියන් ඒ විස්තර කලේ... ලක්දිව රාජාණ්ඩු යුගයේ පැවති තත්වය යි. එසමයේ බෞද්ධ භික්ෂුව ස්වකිය අරමුණු වලින් බැහැරව ගොස් බොහෝ වෙනත් කටයුතු සදහා යොමු වී සිටියහ. මේ තත්වය ශාසනයේ පිරිහිමක් බුදුසසුනේ කඩා වැටිමක් වශයෙන් කතෘ හිමිනම පෙන්වා දේ.

මේ වන විට අපි මෙම සමය පසු කර ඇත්තෙමු. විදේශීය ආණ්ඩු 3ක පාලන කාල අවසන් ව, වත්මන් යුගයට පා තබා ඇත්තෙමු.
එකළ මෙකල අතර ශාසනික විකාශනය දෙස බලන විට... පැරණි රජ සමයේ මහා විහාර සම්ප්‍රදාය රැකගනිමින්... පැරණි වැරදිද
උරුමයන් සේ දකිමින් හණ මිටි කරපින්නාගෙන පැමිණි කණ්ඩායම්... තවමත් රාජ්‍ය සේවය ට ආවඩති. සර්වාගමික වසංගතය හමුවේ නිහඩව සිටිති. එනමුත්, මේ සම්ප්‍රදායන් බිද දමා බෞද්ධ භික්ෂුවගේ උරුමය හදුනා ගනිමින්... පැවිදි උපසම්පදාව ද අලුතෙන් ලබා ගෙන.. විමුක්ති සුවය විදින පරපුරක් බිහි කිරීමේ ආරණ්‍ය සම්ප්‍රදාය බිහි කිරිමට මිට දශක ගණනාවකට පෙර ලාංකිය සංඝ පිතෘ වරුනට හැකි විය. ඒ අනුව, සල්ගල, වතුරුවිල, කලුගල, ගල්දූව, දෙල්දූව, නා උයන, ලබුදූව, වැනි ආරණ්‍ය සේනාසන බිහි විය. ඒ සෙනසුන් බිහි වූ අලුත.. එහි පැවැත්ම පිළිබද දැකිය හැකි වූ කැපි පෙනෙන වෙනස් කම් නිසා... ලාංකිය මහා විහාර භික්ෂූන් ඒවා දැඩි ලෙස විවෙචනය කළහ. සම්ප්‍රදායන් බිද දමා... විමුක්ති සුවය වෙනුවෙන් ම කැප වී කටයුතු කිරිම නිසා.. ආරණ්‍යය යනු රජ ජාතිය සුරකින භික්ෂුන් නොසිටින තැනක් යැයි දෙස් දෙවුල් දෙන්නට විය. එනමුත්, භික්ෂු විනය අතින්, සාම්ප්‍රදායික පිරිහුණු මහා විහාර භික්ෂුන්ට වඩා ආරණ්‍ය භික්ෂුව මුල්කල දී පෙරමුණේ සිටි නිසා... උඩරට පහත රට රදළයින්ගේ පැහැදීම ක්‍රම ක්‍රමයෙන් උන්වහන්සේලා දිනා ගත් හ. මෙය වැළැක්විය නොහැකි තැන... ආරණ්‍යයන් හි පැවිදි වන්නෝ කුල හීනයෝ යැයි කුලයෙන් ද ඝටා නින්දා අපහාස කිරිමට එකළ ඔවුන් පෙළැඹුනෝ ය. මේ නිසා.. ආරණ්‍ය සම්ප්‍රදාය වැඩිපුරම පවතින රාමඤ්ඤ අමරපුර නිකායන් කුල හීනයන් ගේ නිකායන් ලෙසත්, උභය පාර්ශවික සියම් නිකාය කුලීනයන්ගේ නිකාය ලෙසත් වැඩි කල් නොගොස් ඔවුන් විසින් සමාජ ගත කළ හ. රජුගේ බලපැම මත, මහා විහාරයේ පැවිද්ද සදහා කුලය ප්‍රධාන අංගයක් කරගැනිමට සිදු වුවත්.. පසුකාලිනව.. ඔවුන් එය භාවිතා කලේ.. ආරණ්‍ය සම්ප්‍රදාය ජනප්‍රිය වීම අඩපණ කොට මර්ධනය කිරීම සදහා කුලයෙන් ඝටනු පිණිස ය. 

මේ අනුව ගත් කළ, කතෘ හිමියන්ගේ පූර්වෝක්ත හේතුන්ට අමතර ව... වර්තමානයේ සංඝ සංස්ථාව ලාභ සත්කාර කිර්ති ප්‍රශංසා බෙදා ගත නොහැකි ව ඔවුනොවුන් නිකාය වශයෙන් ද කුල වශයෙන් ද ආයතන වශයෙන් ද පලාත් වශයෙන් ද ගොදුරු ගම් වශයෙන් ද පුද්ගලික හතුරුකම් වශයෙන් ද භේද භින්න වී ගොසිනි. නූලක නො ඇමිණූ මල් යහනක් අවුල් කරන්නට සුළගකට හැකිවාක් මෙන්... බෙදී ගිය සංඝ සංස්ථාවක් පවතින යුගයක... අන්‍යාගමික බලපැම් ප්‍රභල වීම නිරායාසයෙන් ම සිදු වන්නකි. 

මේ තත්වය මධ්‍යස්ථව විචාරා සංඝයාගේ සමගිය පිණිස මිස බෙදීම පිණිස පවතින කිසිදු ව්‍යාපාරයක් අප විසින් ශක්තිමත් නොකළ යුතු ය. සංඝයාගේ සමගිය පිණිසත්, සංඝයා විසින් බුදු සසුන හදුනාගන්නා තත්වයට පත් කිරීමටත්, ගිහියන්ගේ කටයුතු සිදු නොකර සැබැ ශාසනික ප්‍රතිරූපය ඉස්මතු වන මුනිවරුන්ගේ සසුනක් බිහි කරවීම පිණිසත්, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලිව පෙරගමන් කළ යුතු ය.

‘චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං‘

තෙරුවන් සරණයි!!!

No comments:

Post a Comment