Friday, August 10, 2012

බුදු සසුන පිරිහුණේ ඇයි? - මහා විහාරවල කුල වාදය




බුදු රදුන්ගේ සමයෙහි උන්වහන්සේ මෙන් ම උන්වහන්සේගේ ධර්මය ද ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව වූයේ බමුණු මත අනුව පැවති කුල වාදයට පහර දීමෙන් උන්වහන්සේ ගෙන ගිය සමාජ

විප්ලවය යි. එකල පැවති ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කෙබදු කුලයක කෙනෙකුට වුවද බෞද්ධ භික්ෂුවක වීාම් භාධාවක් නොතිබුනි. බුදුන් සුනීත, සෝපාක, ආදී චණ්ඩාලයන් පවා

පැවිදි කිරීමෙන් ඒ බව පැහැදිලි වේ. භික්ෂුව පැවිදි විමේ පරමාර්ථය පංචස්කන්ධය නිසරු බව සලකා තෘෂ්ණාව නැතිකොට නිවන් දැකීම ය. එය කවර ජාතිකයෙකුට හෝ කවර කුලිකයකුට

හෝ වුව ද නුවණ ඇත්නම් කළ හැකි දෙයකි. බුද්ධ ධර්මයෙහි පෙන්වා ඇති කුල පුත්‍ර යෝ දෙදෙනෙකි. නිවන් මග පිළිපැදිමට සුදුසු ඔහු දෙදෙන නම්, ආචාර කුල පුත්‍රයා සහ ජාති කුල පුත්‍රයා

ය. ආචාර කුල පුත්‍රයා නම්, කවර කුලයක ඉපිද වුවත් ශිෂ්ඨ සම්පන්න ව සිටින තැනැත්තා ය. ජාති කුල පුත්‍රයා නම්, උසස් කුලයක උපන් තැනැත්තා ය. එබදු අය සිය කුලය ගැන සළකා පාප

ක්‍රියා කිරීමට මැලි වෙති. එකළ බුදු සසුන්හි මහණ කරන ලද්දේ මේ දෙදෙනා ය. රජ බමුණු ආදි කුලයක උපන්නත් ඔහු තුළ ශිෂ්ඨ ගති නැත්නම්, හේ මහණකමට සුදුස්සෙක් නොවේ.

දඹදෙණි කතිකාවතෙහි මහණ උපසම්පදාව සදහා ජාති ගෝත්‍ර විචාල යුතු බව සදහන් කොට තිබේ. එහෙත් අසවල් කුලයට මහණ මහලු පැවිදිකම් දිය යුතු යැයි නිශ්චය වශයෙන් ම එහි

නොකියැවේ. එසේ ම මේ කතිකාවත ලියු සමයෙහි සිටි දෙවන පැරකුම් රජුගේ බලපැමක් ද ඒ සදහා ඇති වූ බවක් මෙයින් පැහැදිලි නොවේ.

පොළොන්නරු යුගයේ ඇතිවන්නට පටන් ගත් දකුණු ඉන්දියානුවන්නේ බලපෑම නිසා ලංකාවේ බෞද්ධ සමාජයට ද කුලවාදය ඇතුලු වන්නට විය. කොට්ටේ සහ මහනුවර යුගයෙහි

ලංකාවට සංක්‍රමණය වූ සොලි බමුණන් හා මලල කුමරුවන් නිසා මෙහි කවරදාවත් නොවු විරු කුල ගෝත්‍රයන් බිහි වු බව කලින් විස්තර විය. මේ අතර මෙහි පිහිටුවාගත් ‘බණ්ඩාර‘

වලිය ද මේ කුලවාදය තවත් උග්‍ර වීමට හේතු විය. කුලවාදයෙන් ඉදිමුණු මාන්නය මහණකමට නුසුදුසු දෙයකි. බුදුන් ආනන්දාදි ශාක්‍ය කුමරුවන් සමග පැමිණි උපාලි කපුවා පළමුව පැවිදි

කොට සැහැ කුමරුවන් පසු ව පැවිදි කළේ ඔවුන්ගේ අභිමන් බිදීමට ය. මහනුවර යුගයේ එක් කුලයක අය පමණක් පැවිදි කිරීමෙන් සිදු වූයේ විශාල සමාජයකට අයත් බුද්ධාගම පිළිබද

වගකීම සීමිත වීම ය. පන්සිල් අටසිල් රැකීමා දී අනික් ප්‍රතිපත්තීන් මෙසේ එක් කුලයක ට සීමා වූයේ නම්, මෙරට එකල පැවති විශාල කුල සංඛ්‍යාව අනුව බුද්ධාගමය මෙරටින් තුරන් වී

ගොස් බොහෝ කල් යැයි සිතිය හැකිය. පිරිහීම් යුගයේ උග්‍රව පැවති මේ කුලවාදය නිසා මහණ උපදම්පදාව නොලත් පහත් යැයි සම්මත ඇතැම් කුලිකයෝ උදාසින ව විසූ හ. ඔවුන්ගෙන්

සමහරු කතෝලික ආගම වැළද ගත්හ. එදා නොව අදත් බෞද්ධ සමාජයෙහි පවතින කුලවාදය පිරිහිමට මිස දියුණුවට හේතු වී නැත.


උපුටනය...
පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
සරණංකර සංඝරාජ සමය පොතෙන්

පසු විපරම
-----
පූජ්‍ය කොටගම වාචිස්සර නා හිමිපාණන් වහන්සේට අනුව, මුල් යුගයේ බෞද්ධයින් කතෝලික ආගම වැළද ගැනීමට හේතු වී ඇත්තේ මේ කුලවාදය යි. එපමණක් නොව උතුරේ දමිළ වැසියන් ද බහුතරයක් කතෝලික භක්තිකයින් බවට පත් වූයේ ඔවුන් තුල ද පැවති කුලවාදය නිසා ය. බහුතරයක් කතෝලික වී ඇති දමිළයින් ඔවුන්ගේ සමාජයේ හීන කුලිකයින් යැයි සම්මත මිනිසුන් ය. සැබැවින් ම. අපේ මහා විහාර සම්ප්‍රදාය තුළ ඇති වූ අදටත් පවතින උසස් කුලිකයෝ පැවිදි උපසම්පදා කරන සම්ප්‍රදාය බුදු සසුනේ නොමැති පසුකලෙක ආරූඪ වූ හින්දු උපසංස්කෘතියකි. මහා විහාරයෙන් සිදුවූ මේ සංස්කෘතික ඝාතනය නිසා එම විහාර වාසීන්, නිකායිකයින්, පාර්ශවයන් සමාජයේ සම්භාව්‍යත්වයට පත් කරවන ලදී. රාජ්‍ය වරප්‍රසාද හිමිවන්නේ ද හිමි ව තිබෙන් නේ ද ඔවුන්ට ය. මේ සමාජගත කොට ඇති රදළ භික්ෂු පෙළපත නිසා අදටත් රාජ්‍ය නායකයින් උපදෙස් ගැනිමටත් ප්‍රකාශ ගැනිමටත් මුල්කරගැනිමටත් පෙළඹෙන්නේ මහනුවර උභය පාරශවික සියම් නිකායික මහා සංඝයාම ය. අමරපුර, රාමඤ්ඤ, ස්වේජින් ආදි නිකායන් පවතිත්ද නැත්ත වත් ඔවුන් නොදනිති. එමෙන් ම, ඒ මහ නා හිමිවරුන් පහත රට අඩු කුලිකයෝ යැයි උපහාසයෙන් බලන්නට, කන්ද උඩරට ප්‍රධාන බොහෝ කුලීන භික්ෂුන් පෙළඹී ඇත. 

වර්තමානයේ ලංකාවේ පවතින නිකාය භේදය... අතීත කුල භේදයේ පරිණාමිත වත්මන් මුහුණුවර යි. එය අද සංස්කෘතියට බද්ධ වී ඇත. එය වෙනස් කිරීමට බුද්ධිමත් හිමිවරු ද බිය වෙති. එයට හේතු ව නම්, විකාශනය වන සංස්කෘතිය රැක ගැනීම මිස... සැබැ සංස්කෘතිය හදුනගෙන... සංස්කෘතියේ බැදුනු මලකඩ ඉවත් කිරීමට තරම් කොන්දක් ඔවුන්ට නොමැති වීම ය.
මිහිදු මා හිමියන් සිදුකලේ ඒ මලකඩ කැඩීම ය. උන්වහන්සේ බිහි කලේ.. එකල දඹදිව තිබු බෞද්ධ සංස්කෘතිය යි. ඒ අනුව අපේ සැබෑ සංස්කෘතිය සහ උපසංස්කෘතින් බවට පත්විය යුත්තේ ධර්මාශෝක යුගයේ දඹදිව පැවති බෞද්ධ සංස්කෘතියම නොවේද!!!


මේ තත්වය මධ්‍යස්ථව විචාරා සංඝයාගේ සමගිය පිණිස මිස බෙදීම පිණිස පවතින කිසිදු සංස්කෘතියක් අප විසින් ශක්තිමත් නොකළ යුතු ය. සංඝයාගේ සමගිය පිණිසත්, සංඝයා විසින් බුදු සසුන හදුනාගන්නා තත්වයට පත් කිරීමටත්, සමානාත්මතාවය රජකරවන මුනිවරුන්ගේ සසුනක් බිහි කරවීම පිණිසත්, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලිව පෙරගමන් කළ යුතු ය.

‘චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං‘

තෙරුවන් සරණයි!!!

No comments:

Post a Comment