Friday, August 10, 2012

මුලින්ම බුදු පිළිම නිර්මාණය වුණේ ඉන්දියාවේ

ලාංකීය බුද්ධ ප්‍රතිමාව අමරාවති සම්ප්‍රදායට නෑකම් කියනවා

මහාචාර්ය පී.එල්. ‍ප්‍රේමතිලක

බරණැස ඉසිපතන මිගදාය
මුලගන්ධකුටි විහාරය තුල අනගාරික ධර්මපාලතුමා විසින් තැන්පත් කර ඇති
රන්වන් සාරනාත් බුද්ධ ප්රතිමාව
- පැරණි සාරනාත් බුදු පිළිමයහි අනුරුවකි -




ඉහත අමරාවති පිළිම කලාවට අනුව නිර්මිත මුල් යුගයට අයත් අනුරපුර සමාධි බුදුරුව


මහාචාර්යතුමනි, මෙරට ප‍්‍රතිමා කලාව ගැන සාකච්ඡාවකට මුල පුරද්දි මුලින් ම මොනවද ඔබට කියන්න පුළුවන් කාරණා?
අපේ මූර්ති කලාව ආගමික හා අනාගමික යනාදි වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා. ආගමික මූර්තිත් බුදුසමය හා හින්දු සමය විදියටත් බෙදන්න පුළුවන්. බුදු සමයට අයත් ශ්‍රේෂ්ඨතම මූර්තිය තමයි බුදු පිළිමය. මෙරට බෞද්ධ ප‍්‍රතිමා කලාවේ මුදුන්මල්කඩ තමයි බුද්ධ ප‍්‍රතිමා. (අනාගමික මූර්ති අතර රජවරුන්ගේ ප‍්‍රතිමා දක්නට ලැබෙනවා) බුදු පිළිම උද්දේශික චෛත්‍ය ගණයෙහිලා සලකන්න පුළුවන්. අපේ බෞද්ධයන් ශාරීරික, පාරිභෝගික හා උද්දේශික වශයෙන් චෛත්‍ය, බෝධි, බුද්ධ ප‍්‍රතිමා, දළදා ආදි වස්තූන්ට වැඳුම් පිඳුම් කිරීමට ඇබ්බැහිව සිටියා.

මුල් ම බුදු පිළිමය පැරණි සිංහලයන්ගේ නිර්මාණයක් බව ඩී.ටී. දේවේන්ද්‍ර, මහාචාර්ය සිරි ගුනසිංහ වැනි විද්වතුන් මත පළ කරලා තිබෙනවා?
ඒ මතය පිළිගන්න බැහැ. මුලින්ම බුදු පිළිම නිර්මාණය වුණේ ඉන්දියාවේ.

අපේ මූර්ති ශිල්පීන් ඉන්දියාවට ගිහින් එහි බුදු පිළිම නෙළුවයි කියල හිතන්න බැරි ද?නැහැ. ඒකට කිසිම සාක්ෂියක් නැහැ.

බුදු පිළිම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මූලික සම්ප‍්‍රදායයන් දෙකක් තිබෙනවා නේද?
ඔව්. එකක් ගාන්ධාර සම්ප‍්‍රදායය. අනික මථුරා සම්ප‍්‍රදායය. මේ දෙකම අයිති උතුරු ඉන්දියාවට.


මේ සම්ප‍්‍රදායයන් කොච්චර පරණ ද?
ද්‍රව්‍යමය සාධකවලින් පේන්නේ කි‍්‍රස්තු වර්ෂාරම්භයේදී හෝ ඊට මඳක් පෙරාතුව ඉන්දියාවේ බුදු පිළිම නිර්මාණය වූ බවයි.


ගාන්ධාර - මථුරා සම්ප‍්‍රදායන් දෙකේ මොනවද තිබෙන වෙනස්කම්?
ගාන්ධාර සම්ප‍්‍රදායය ගී‍්‍රක, රෝම කලා සම්ප‍්‍රදායයන් ගුරුකොට ගත්තා. ගාන්ධාර සම්ප‍්‍රදායයට අයත් බුදු පිළිම හරියට ඇපොලෝ දෙවියන් වගේ. මථුරා සම්ප‍්‍රදායයේ තියෙන්නේ දේශීය ලක්ෂණ. මථුරා සම්ප‍්‍රදායයේ මුල් ම බුදු පිළිම යක්ෂ රූප, නාග රූපවලම වර්ධනයක්. යක්ෂ රූපවල තිබුණේ යක්ෂයාගේ අතක් ඉනේ බැඳගෙන. ඒ විදියටම තමයි බුදු පිළිම නිර්මාණය වුණෙත්.

මෙයින් වඩාත් ම පැරැණි මොකද්ද ?
දෙකම එක වගෙ කාලෙක තමයි ආරම්භ වුණේ.

මේවායින් අපිට බලපාලා තියෙන්නේ මොන සම්ප‍්‍රදායය ද?

මේ සම්ප‍්‍රදායයන් ආන්ධ‍්‍ර ප‍්‍රදේශයේ අමරාවති හා නාගර්ජුනකොණ්ඩ වැනි ප‍්‍රදේශ කරා ව්‍යාප්ත වුණා. අපිට බලපෑවේ ඒ අමරාවති සම්ප‍්‍රදායය. කොහොම වුණත් භාරතිය කලා සම්ප‍්‍රදායයේ ආභාසය අපේ රටට විතරක් නෙමෙයි බුරුමය, සියම, කාම්බෝජය, ජාවා වැනි රටවලට ද ලැබුණා. ඒ ඒ රටවල බෞද්ධ කලා නිර්මාණ පිරික්සීමෙන් එය වටහාගන්න පුළුවන්.

ඔබ කියන්නේ ඉන්දීය මූර්ති ශිල්පීන් මෙරටට ඇවිත් බුදු පිළිම නෙළුවයි කියල ද?
නැහැ. ඔවුන් මෙහි ඇවිත් බුදු පිළිම තැනු බවට කිසිදු සාක්ෂියක් නැහැ. ඒ කාලේ දකුණු ඉන්දියාවත් එක්ක අපේ යම් යම් සම්බන්ධකම් තිබුණනේ. එකල නාගර්ජුනකොණ්ඩයේ සිංහල ආරාමයක් තිබුණයි කියලත් කියනවනේ. ඊට මඳ කලකට පස්සේ සමුද්‍රගුප්ත රජුන්ගේ කාලයේත් අපේ භික්ෂුන් වහන්සේලා සඳහා එහේ ආරාමයක් තිබුණයි කියලා කියනවා. ඉතින් ඒ සම්බන්ධකම් තිබුණා.

ශී‍්‍ර මහා බෝධියත් එක්ක අටළොස් ශිල්ප කුල මේ රටට ආවනේ. ඔවුන් අතර බුදුපිළිම නෙළන ශිල්පීන් ඉදලා නැද්ද?
එවැන්නක් ගැන සඳහන් වෙන්නේ නැහැ.

අපේ බුදු පිළිමවල ඉතිහාසය කොයිතරම් දුරකට ඈතට යනව ද?

වංශ කතාවල සඳහන් වන විදියට කි‍්‍ර.පූ. තුන්වැනි සියවසේදී විතර මේ රටේ බුදු පිළිම තිබිලා තියෙනවා. නමුත් ඒ තිබුණයි කියන එකට තවම පුරා විද්‍යාත්මක සාධක හමුවෙලා නැහැ.

දැනට අපේ රටෙත් සොයා ගෙන තිබෙන පැරණි ම බුද්ධ ප‍්‍රතිමාව මොකද්ද?

අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයේ ආසනඝර භූමියෙන් සොයාගත් සමාධි ප‍්‍රතිමාවක් තිබෙනවා. (මේක බෝධිඝරයක්). ඒක හුඟාක් පරණයි. එය කි‍්‍රස්තු වර්ෂ දෙවැනි, තුන්වැනි සියවසට විතර අයත් යයි හිතන්න පුළුවන්. මේ ප‍්‍රතිමාව දැනට අනුරාධපුර කෞතුකාගාරයේ තිබෙනවා. එහෙත් දැන් ඒ ප‍්‍රතිමාව තියෙන්නේ බොහෝම දුර්වල තත්ත්වයක. ස්වභාවික හේතු මත එය විනාශ වෙමින් පවතිනවා. ඒ හැරුණුකොට මහඉලුප්පල්ලමේ තියෙන හිටි පිළිමයත් බොහෝම පරණයි. ඒකත් අර කාලයටම අයිතියි. මැදිරිගිරිය, මැණික් වෙහෙර, දඹුල්ල වැනි තැන්වල තියෙන හිටි පිළිමවලට පූර්වාදර්ශයක් වෙලා තියෙන්නේ මේ බුද්ධ ප‍්‍රතිමාව යැයි හිතන්න පුළුවන්.

මිහිඳු ආගමනයට පෙර අපේ රටේ බුදු පිළිම තිබු බවට සාක්ෂි නැද්ද? බුදුන් වහන්සේ තෙවරක් මෙරටට වැඩියයි කියලා බෞද්ධයන්ගේ විශ්වාසයක් තිබෙනවා. ඒ අනුව සලකල බැලුවොත් බුදු පිළිම වන්දනාවක් ඊට කලින් තිබිලා නැද්ද?

ඔය කියන කාලයේ මේ රටේ බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය වෙලා නැහැ.

ඔබ නැවතත් කියන්නේ අපේ පැරණි බුදු පිළිම සිංහල අපේ ම නිර්මාණ කියල ද?

බුදු පිළිම නිර්මාණ පිළිබඳ මූල බීජය ඉන්දියාවේ ඇතිවුණාට ඒක ඉන්දියාවටත් වඩා වෙනස් විදියකට වර්ධනය කළේ ශී‍්‍ර ලාංකේය ශිල්පීන්. මුලින් ආන්ධ‍්‍ර ශෛලියේ ලක්ෂණ තිබුණා. පසුව එය ස්වාධීනව වැඩුණා. මොකද ඉන්දීය බුදු පිළිමවල නැති ස්වාධීන ලක්ෂණ අපේ බුදුපිළිමවල තියෙනවා.

මොනවද ඒ අනන්‍ය ලක්ෂණ?

සරල හා චාම් බව. අනික උත්තම ගණයේ බුද්ධ ප‍්‍රතිමාවක් නෙළන්න නම් බුද්ධ චරිතය ගැන, බුදු දහම ගැන ගැඹුරු වැටහීමක් එය නිර්මාණය කරන කලාකරුවාට තියෙන්න ඕනැ. නැතිනම් බුදු පිළිමයකින් දැක්විය යුතු මහා පුරුෂ හා මහා යෝගී ලක්ෂණ, ආධ්‍යාත්මික ගුණ වගාව හා ප‍්‍රඥාව දක්වන්න බැහැ. එහිදි ඉන්දීය ප‍්‍රතිමා ශිල්පියාට වඩා අපේ ප‍්‍රතිමා ශිල්පියා ඉදිරියෙන් ඉන්නවා.

ස්තූප, සදකඩ පහණ, වටදා ගේ, බෝධිඝර මේවාත් ඉන්දියාවේ නැති, දේශීය කලාකරුවන්ගේ ස්වීය නිර්මාණ විදියට නේද සැලැකෙන්නේ?
ඔය හැම දේකම මූල බීජය ඉන්දියාවේ. අපි කළේ එය වර්ධනය කිරීමයි. වර්ධනය කරලා අපේ නිර්මාණ බවට පත්කර ගැනීමටයි. ඒක කරලා තියෙන්නේ මාර්ටින් වික‍්‍රමසිංහයන් වරක් කියලා තියෙන විදියට අපේ අදීනත්වය දැක්වෙන පරිද්දෙන්.

අපේ ශ්‍රේෂ්ඨතම බුද්ධ ප‍්‍රතිමාව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ තිබෙන සමාධි බුදු පිළිමය කියලයි බොහෝදෙනා කියන්නේ? තවත් සමහරු පොලොන්නරු ගල් විහාරයේ බුදු පිළිමය ශ්‍රේෂ්ඨත්වයෙහිලා සලකනවා.

ඒ ඔක්කෝට ම වඩා ශ්‍රේෂ්ඨ බුදු පිළිමයක් පුවරසන්කුලමෙන් හොයාගත්තා. දැන් ඒක තියෙන්නේ අනුරාධපුර කෞතුකාගාරයේ. ඒක මට නම් සමාධි පිළිමයටත් වඩා ශ්‍රේෂ්ඨයි. දේහ ලක්ෂණ පෙන්වීමේදී පරිමාණයේ සමබර බව රැකගෙන ඇති ආකාරයේ සමහර ලක්ෂණ අතින් එය අනුරාධපුරයේ වෙනත් ප‍්‍රතිමා සියල්ල අභිබවනවා. මම මේ බුදු පිළිමය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන්ට පෙන්නුවා. උන්වහන්සේ මට කිව්වෙ මොකද්ද දන්නව ද? “අප්පච්චියේ කොහිද සර් මේක තිබ්බේ? අපි මෙච්චර කල් දැක්කේ නැහැනේ මේක”

තවත් මොනවද ඒ වගේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප‍්‍රතිමා?

ඇයි මාළිගාවිල? ඒක අපේ රටේ උසම බුදු පිළිමයනේ. (උස අඩි 41 අඟල් 10) එහි අනිත් විශේෂත්වය තමයි වෙනම ගල් කුට්ටියක් අරන් ඒකේ පිළිමය නිර්මාණය කර තිබීම.

බුදුරුවගල, අවුකන, සැස්සේරුව වගේ තැන්වල ස්වභාවිකව තිබුණු ගලේ ම නෙළපු ප‍්‍රතිමානේ තියෙන්නේ. මාළිගාවිලටත් වඩා උස බුදු පිළිම බාමියන්වල තිබුණා. අඩි 175 ක් පමණ උස බුදු පිළිමත් බාමියන්වල තිබුණා. එහෙත් ඒවත් ස්වභාවිකව තිබුණු ගලේම නෙළපු ප‍්‍රතිමා. ඒ අනුව ලෝකයේ උසම බුදු පිළිමය මාළිගාවිල බුදු පිළිමය යැයි කියන්න පුළුවන්. අවුකන, තොලුවිල, වෙහෙරගල, සැස්සේරුව, බුදුරුවගල මේවත් බොහෝ ම ශ්‍රේෂ්ඨ බුද්ධ ප‍්‍රතිමා.

පොලොන්නරු ගල් විහාරයේ හිටි පිළිමය බුදුන්ගේ නොව ආනන්ද තෙරුන්ගේ යැයි සමහරු කියනවා මා අසා තිබෙනවා.

එහෙම මතයක් තියෙනවා. සැතපෙන පිළිමයට සමීපවම තිබෙන නිසා ඒක බුදුන් වහන්සේගේ යාවජීව උපස්ථායකයා වූ ආනන්ද තෙරුන්ගේ යැයි මත දක්වනවා. එහෙත් අපේ මතය වන්නේ එය බුදුන්ගේම බවයි. බුදුරජාණන් වහන්සේ අනිමිසලෝචන පූජාවේ යෙදී සිටින ආකාරයයි ඉන් නිරූපණය වන්නේ.

අපේ රටේ කිසිම බුදු පිළිමයක එහි නිර්මාණය කාගේදැයි කොතැනකවත් සඳහන් වන්නේ නැහැ?
එසේ සඳහන් වන එක තැනක් තිබෙනවා. ඒ නිල්ලග්ගම කියන ස්ථානයේ (අවුකනට කිට්ටුව) පැරණි බෝධිඝරයක ශිල්පියාගේ නම ඒ අසලම ඇති සෙල් ලිපියක ලියා තියෙනවා. ඒක විශේෂ තැනක්.

මහායාන බලපෑමට හසුවුණු බුදු පිළිමත් අපේ රටේ දක්නට ලැබෙනවා?
බුදුරුවගල මහායානික බලපෑම තිබෙන තැනක්. එය සුවිසි බුදුන්ගෙන් පළමුවැනියා වූ දීපංකර බුදුන්ගේ පිළිමයක් විදියටත් සමහරුන් විශ්වාස කරනවා. එහෙත් අපේ රටේ වැඩියෙන් ම තියෙන්නේ ථෙරවාදි බුදු සමයට අයත් ශාක්‍යමුනි බුද්ධ රූප. මොකද මහායාන බලපෑම බොහෝම අඩුවෙන් තමයි අපේ රටට ඇතිවුණේ. අපේ රටේ මහායානය පැතිරීමත් එක්ක බෝධි සත්ව වන්දනාවත් ප‍්‍රචලිත වුණා. අවලෝකිතේශ්වර, මංජු ශී‍්‍ර, තාරා වැනි මහායානික බෝසත් රූප නිර්මාණය වුණේ ඒ අනුවයි. වෙහෙරගලින් සොයා ගත් අවලෝකිතේශ්වර ලෝකඩ පිළිමය ලෝක මූර්ති නිර්මාණ අතර සුවිශේෂ තැනක් හිමිකර ගන්නවා.

ඒ අනුව ලංකාවේ බුද්ධ ප‍්‍රතිමා ධම්ම රුචි සම්ප‍්‍රදායය හා මහා විහාර සම්ප‍්‍රදායය යනුවෙන් ආචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ කරන වර්ගීකරණයට එකඟ වෙන්න පුළුවන් ද?
ඔව් බැරිකමක් නැහැ.

බුදු පිළිම හා සම්බන්ධයෙන් ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය සෙනරත් පරණවිතාන වැනි විද්වතුන් දක්වලා තියෙන මත එක්ක ඔබට එකඟ ද?
ඔව්. ආනන්ද කුමාරස්වාමි වෘත්තියෙන් භූ ගර්භ විද්‍යාඥයෙක්. මහාචාර්ය පරණවිතාන වෘත්තියෙන් ගුරුවරයෙක්. එසේම උපතින් බෞද්ධයකු නොවු කෙනෙක්. මේ අය මහත් කැපවීමකින් යුතුව පුරා විද්‍යාව, කලා ඉතිහාසය හදාරලා ඉදිරිපත් කරපු මතිමතාන්තරවල කුමන අඩුපාඩුකම් තිබුණත් ඔවුන්ගේ පුරෝගාමි මෙහෙවර අපි අගය කරන්න ඕනැ.

පසු වදන
---------

මහාචාර්ය පී. (පාලිත) එල්. (ලීලානන්ද) පේ‍්‍රමතිලක පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අංශාධිපතිවරයා ය. ‘පැරණි ඉන්දීය ඉතිහාසය හා පුරා විද්‍යාව‘ යන විෂයය යටතේ ලියු නිබන්ධයට කල්කටා විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත‍්‍රපති (MA) උපාධිය හිමිකරගත් ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයයෙන් දර්ශනශූරී (PHD) උපාධිය හිමිකරගත්තේ ය. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළ නිබන්ධය වූයේ ‘පුරාණ වාස්තු විද්‍යාව සහ මූර්ති ශිල්පයයි.’ අනුරාධපුර යුගය ඊට පසුබිම් විය.

සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් පේරාදෙණි විශ්ව විද්‍යාලයයට බැඳුණු මහාචාර්ය පේ‍්‍රමතිලක අවසානයේ එහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපතිවරයා බවට පත්වූයේ ය. ඔහු මහාචාර්ය සෙනරත් පරණවිතාන සමග සමකාලීන ව සේවය කර තිබීම සුවිශේෂත්වයක් වන්නේ ය.
මහාචාර්ය පේ‍්‍රමතිලක වඩාත් කීර්තිමත් වූයේ 1982 දී සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව ආලාහන පිරිවෙනේ කැණීම් කටයුතු කිරීමෙන් සොයා පාදාගත් භික්ෂු රෝහල නිසාවෙනි. එය 12 වැනි සියවසට අයත් වූවක් බව නිර්ණය කෙරිණි.

නාලන්දා ගෙඩිගේ, මහවැලි කඩිනම් සංවර්ධනය යටතේ බෝවතැන්න ජලාශයට යටවන්නට නියමිත ව තිබුණෙන් එය උස් බිමක ප‍්‍රතිෂ්ඨාපනය කිරීමෙහිලා මූලික ව කටයුතු කළේ ද මහාචාර්ය පේ‍්‍රමතිලක ය. එය විශ්මය ජනක කි‍්‍රයාවක් බව කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයයේ ආචාර්ය රේමන් ඕල්වින් හා ආචාර්ය බි‍්‍රජට් ඕල්වින් යන අය ප‍්‍රකාශ කර ඇත.

දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු එහි මුඛ මණ්ඩපයේ පිපිරී ගිය බිත්තිවල නරේන්ද්‍රසිංහ රජුගේ යුගය තෙක් දිවෙන පැරණි චිත‍්‍ර සොයා පාදාගෙන ඒවා විවරණයට ලක් කිරීමෙහිලා මහාචාර්ය පේ‍්‍රමතිලක මැදිහත් වූයේ ය. ‘දළදා මාළිගාවේ නව සොයා ගැනීම් - පැරණි බිතුසිතුවම්’ (2000) නම්වූ ග‍්‍රන්ථයේ සම කර්තෘවරයකු වූයේ ද මහාචාර්ය පේ‍්‍රමතිලක ය. එසේම ඔහු ‘ශී‍්‍ර ලංකා බිතුසිතුවම් - බුද්ධ’ නම්වූ ග‍්‍රන්ථයේ ද සම කතුවරයෙක් වෙයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක අධ්‍යක්ෂවරයකු වූ මහාචාර්ය පේ‍්‍රමතිලක ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යාඥයකු හා කලා ඉතිහාසඥයකු ලෙස විද්වත් බුහුමන් ලබයි.





බුද්ධ ප්‍රතිමාව ලොවට හඳුන්වා දුන් ගන්ධාර බුදු පිළිම කලාව


මුල් ම බුද්ධ ප්‍රතිමාව බිහි වූයේ ග්‍රික සම්ප්‍රදාය අනුව යි
අද පවතින්නේ එහි විකාශනයකි



------------------------------------------------------------------------------
ගන්ධාර බුදුපිළිම නිර්මාණයට පූර්වාදර්ශයට ගත හැකි බුද්ධ ප්‍රතිමා භාරතයේ හෝ වෙනත් කිසිම තැනක නොවූයේය. මේ නිසා භාරතයේ මෙම බුදු පිළිම නිරමාණයේදි එම මූර්ති ශිල්පීන්ට ආදර්ශයට ගත හැකිව තිබුණේ එවක (කණිෂ්ක රාජ සමයේදී ) ගී‍්‍රක රෝම දෙවිවරුන්ගේ රූපවල ඇඳුම් පැළැඳුම් ය. ඒ අනුව ගන්ධාර බුදු පිළිමවල සිවුර ගී‍්‍රක දෙවියකු වූ ඇපොලෝ දෙවියාගේ ටෝගා නමැති ඇඳුම අනුව නිර්මාණය කළේය.
එමෙන්ම ගී‍්‍රක සූර්ය දෙවියන්ගේ මූර්තිවල දක්නට ලැබෙන හිසකෙස් සකසා ඇති ආකාරයට ගන්ධාර බුදු පිළිම ශීර්ෂ ද නෙළා ඇති අන්දම දැකිය හැකිය
------------------------------------------------------------------------------

අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ වසර 2000 කට අධික ඈත අතීතයකදී ලෝකයටම බුදු රුව හඳුන්වා දුන්, මෙකල පකිස්ථානයට අයත් ගන්ධාර බුදු පිළිම කලාව පිළිබඳ විමසා බැලීමටය. ඉන්දියාවේ මෙන්ම මෙකල පකිස්ථානයේද බෞද්ධ සිද්ධස්ථාන රැසක්ම දැකිය හැකි නිසා ඒ රටද සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගත් රටකි. ජාතක කතාවල සඳහන්වන තක්‍ෂිලාවද පිහිටියේ පකිස්ථානයේය.
පාකිස්ථානයේ ලාහෝර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ අති විශේෂ වූ බෝධිසත්ව පිළිමයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි වැඩම කරවූ පිට 2006 මැයි 26 වැනිදා ශ්‍රී ලංකාවට බව ඉතා ප්‍රකට කරුණකි. එම පිළිමය වූයේ සිද්ධාර්ථ තවුසාණන් බුද්ධත්වයට පත්වීමට පෙර සය අවුරුද්දක් තිස්සේ “දුෂ්කර ක්‍රියා” කළ ආකාරය නිරූපණය කරෙන මූර්ති ඵලකයකි. එයද පකිස්ථානයේ මෙම ගන්ධාර බුදු පිළිම සම්ප්‍රදායට අයත් වූවකි.

තොළුවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ
දුෂ්කර ක්‍රියාව යන වචනය සඳහා මෙකල පවා ඇතැම් අපරදිග පුරාවිද්‍යාඥයින් විසින් භාවිත කරනු ලබන ඉංගී‍්‍රසි වචනය වූ Fasting Buddha යන වචනයෙහි සාවද්‍ය බව ගැනද මෙහිදී පෙන්වා දිය යුතුය. පළමුවැනි වරද නම් දුෂ්කර ක්‍රියාව සිදුකරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසින් යැයි සඳහන් වීමය. දුෂ්කර ක්‍රියා කළේ බෝසතාණන් වහන්සේය. අනෙක් වැරැදි ව්‍යවහාරය නම් දුෂ්කර ක්‍රියාව සඳහා යොදා ඇති ඉංගී‍්‍රසි වචනය වූ ‘ෆාස්ටින්’ (Fasting) යන වචනයයි. ‘ෆාස්ටින්’ යන ආගමික චාරිත්‍රය සිදුකෙරෙන්නේ ඉස්ලාම් බැතිමතුන් විසිනි.
එසේ නම් සිද්ධාර්ථ තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියාව සඳහා යෙදිය යුතු නිවැරැදි ඉංගී‍්‍රසි වචනය කුමක්ද යන්න මෙහිදී පැන නැඟෙන ප්‍රශ්නයකි.
ඒ සඳහා යෙදෙන ඉංගී‍්‍රසි වචනය වන්නේ ඉඥතට Self Mortificationයන්නයි. ඉහත සඳහන් එම මූර්තිය පිළිබඳ එකල ඉංගී‍්‍රසි පුවත්පත්වල පළ වූයේද සාවද්‍ය වූ ඉංගී‍්‍රසි ව්‍යවහාරයයි. සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ අවධානය යොමු කෙරෙන මෙකල, අප මේ නිවැරැදි ව්‍යවහාරයන් පිළිබඳ ද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.
ගන්ධාර බුදු පිළිම සම්ප්‍රදාය පිළිබඳ සඳහන් කරන විට තවද විශේෂිත වූ කරුණක් මෙහිදී අපගේ අවධානයට ලක් කළයුතුව ඇත. එනම්, ගන්ධාර කලා සම්ප්‍රදාය ඇති වූයේ එකල භාරත දේශය හෙවත් ජම්බුද්වීපයේ වයඹ දිග ප්‍රදේශයේ (මෙකල පකිස්ථානයේ) ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේදී පිහිටුවන ලද කුගාන අධිරාජ්‍යයේ (විදේශික රාජවංශයකි) රජතුමා ප්‍රබලතම වූ කනිෂ්ක රජුගේ රාජ්‍ය සමයේදීය. අසෝක රජතුමාට (ක්‍රි.පූ. 273 – 232 ) පසුව බුද්ධාගම (මහායාන බුදුසමය) ලොවෙහි, විශේෂයෙන් මධ්‍ය ආසියාවේ ප්‍රචලිත වුයේ කනිෂ්ක රාජ සමයේදීය.
කනිෂ්ක රජුගේ රන්කාසිවල මෙන්ම පකිස්ථානයේ ෂා.ජි.කි. ඩේරි (SHAH –Ji-Ki DHERI) හි හමු වූ කරඬුවෙහි ද ප්‍රථම වරට බුදුරුව නිර්මාණය කර ඇති බැව් ඉතා පැහැදිලිය. (Buddhist Dandhra-Ihsan H Nadien (History Art And Architecture –2008 – P. 52 , Lahore Pakistan)
ගන්ධාර බුදු පිළිම සම්ප්‍රදාය ඉන්දියානු හෘදයෙනුත් ගී‍්‍රක රෝම ශාස්ත්‍රයෙනුත් නිර්මාණය කරන ලද මූර්ති කලාවක් බව කලා විචාරකයන්ගේ නිගමනයකි. මේ කාලයේදිම දියුණුවට පත්වු මථුරා බෞද්ධ කලාව තුළ එවැනි විදේශීය ආභාෂයක් නොව දේශීය ලක්ෂණයක් දැකිය හැකිය.

පොළොන්නරුව ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ගන්ධාර බෞද්ධ කලාව එසේ විදේශීය ආභාසය සහිත වූ මූර්ති කලාවක් සේ සැලකෙන්නේ කුමක් නිසාදැයි විමසිය යුතුව ඇත.
ගන්ධාර බුදුපිළිම නිර්මාණයට පූර්වාදර්ශයට ගත හැකි බුද්ධ ප්‍රතිමා භාරතයේ හෝ වෙනත් කිසිම තැනක නොවූයේය. මේ නිසා භාරතයේ මෙම බුදු පිළිම නිරමාණයේදි එම මූර්ති ශිල්පීන්ට ආදර්ශයට ගත හැකිව තිබුණේ එවක (කණිෂ්ක රාජ සමයේදී ) ගී‍්‍රක රෝම දෙවිවරුන්ගේ රූපවල ඇඳුම් පැළැඳුම් ය. ඒ අනුව ගන්ධාර බුදු පිළිමවල සිවුර ගී‍්‍රක දෙවියකු වූ ඇපොලෝ දෙවියාගේ ටෝගා නමැති ඇඳුම අනුව නිර්මාණය කළේය.
එමෙන්ම ගී‍්‍රක සූර්ය දෙවියන්ගේ මූර්තිවල දක්නට ලැබෙන හිසකෙස් සකසා ඇති ආකාරයට ගන්ධාර බුදු පිළිම ශීර්ෂ ද නෙළා ඇති අන්දම දැකිය හැකිය. මේ සඳහා කදිම උදාහරණයක් ලෙස පකිස්ථානයේ හෝර්ට් මන්තුර් පුද බිමෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාව දැක්විය හැකිය. මෙසේ මුල් කාලයේදී බෞද්ධ ග්‍රන්ථවල සඳහන්වන බුද්ධ ලක්‍ෂණවලින් මෙම ප්‍රතිමාවල දක්නට ලැබෙන්නේ දීර්ඝ වූ කන් සහ ඌර්ණ රෝමය පමණි. ගන්ධාර බුද්ධ ප්‍රතිමා සියල්ලකම පාහේ බටහිර හා ඉන්දීය කලා සම්ප්‍රදායයන්ගේ මිශ්‍රණයක් දැකිය හැකිය. (දඹදිව බෞද්ධ කලාව ආචාර්ය ඩබ්ලිව්. පී. ආනන්ද ගුරුගේ පිටු 15 –16 – 1962 )
ගන්ධාර බුදු පිළිම කලාව මගින් බුදුරජාණන් වහන්සේ මානව රූපීව නිර්මාණය කළා මිස බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණ සමුදාය එයින් මුර්තිමත් කිරිමට ගන්ධාර ශිල්පියා සමත්වී නැත. එසේ වුණද බුදුරජාණන් වහන්සේගේ උදාරත්වය හා මහේශාක්‍යභාව එම පිළිම වලින් නිරූපිතය.
ඉහත දී අපි භාරතය සහ ජම්බුද්වීපය යන නාමයන් සඳහන් කළෙමු. ඒ කරුණද පැහැදිලි කළ යුතුව ඇත.මෙකල පකිස්ථානය, ඉන්දියාව හා නේපාලයද ඇෆ්ඝනිස්ථානයේ කොටසක්ද බංග්ලාදේශයද වශයෙන් දක්නට ලැබෙන වෙනම රාජ්‍යයන් අසෝක රජතුමාගේ කාලයේදී ක්‍රි.පූ. 273 – 232 ) හඳුන්වන ලද්දේ ජම්බුද්වීපය යන නාමයෙනි. ඒ අනුව ඒ රටවල් සියල්ලම එකල එකම රාජ්‍යයෙකි.

කනිෂ්ක රාජ යුගයේ රන් කාසියක්
සමස්තයක් ලෙසින් සලකන කල්හි ගන්ධාර බුදු පිළිම මුද්‍රා සතරකින් නිරූපිතය. අභය මුද්‍රාව , ධ්‍යාන මුද්‍රාව, ධර්ම චක්‍ර මුද්‍රාව සහ භූමි ස්පර්ශ මුද්‍රාවයි. බෝධිසත්ව පිළිමද ගන්ධාර කලා සම්ප්‍රදාය අනුව රැසක්ම නිර්මාණය කර ඇත. එහිද ශීර්ෂය මෙන්ම ශරීරාංග නිර්මාණයේදී ද ගී‍්‍රක රෝම ආභාෂය දක්නට ලැබේ.
බුදු පිළිම හා බෝධිසත්ව පිළිම හැරුණු විට මෙම මූර්ති සම්ප්‍රදායට අයත් වන මූර්ති කැටයම් ඵලක ද දක්නට ලැබේ.
අල්පෝන්නත වූ එම මුර්තිවල භාරාත් හා සාංචි ආදි ස්ථානවල මෙන් නොව එක් සිද්ධියක් එක් රාමුවක දක්නට ලැබේ. උදාහරණයක් ලෙසින් සඳහන් කරතොත් සිදුහත් කුමාරෝත්පත්තිය නිරූපණය කෙරෙන මූර්ති කැටයමෙහි සල් අත්තක් අතින් අල්ලාගෙන සිටින මහා මායා දේවියගේ දකුණු ඇලයෙන් බෝසතාණන් වහන්සේ නික්මෙන ආකාරය නිරූපිතය.
එහි බෝසතාණන් වහන්සේගේ ඉණෙන් ඉහළ කොටස පමණක් මූර්තිමත් කර ඇත. සේවිකාවක විසින් මහාමායා දේවිය අල්ලාගෙන සිටිනු ලබන ආකාරයද එහි නිරූපිතය. බුද්ධ චරිතයෙහි සිද්ධීන් දැක්වෙන මූර්ති කැටයම්ද රැසෙකි.
ඉහතින් සඳහන් කළ කනිෂ්ක රජුගේ රන් කාසියේ එක පැත්තක බුද්ධ රූපය ද Boddo  යන අකුරුද සඳහන් කර ඇත. එහි අනෙක් පැත්තේ ඇත්තේ කනිෂ්ක රජුගේ රූපයයි. අද කාලයේදී නම් මෙය ඉතාමත් ප්‍රබල විරෝධතාවයක් එල්ලවීමට හේතුවක් වනු ඇති බව සැක නැත.
මෙයද ගී‍්‍රක රෝම ආභාෂය අනුව එම කාසි නිර්මාණය කිරීමකි. ඒ කාසිවල තිබුණේ ඒ රටවල ප්‍රචලිත දෙවිරුන්ගේ රූපයන්ය. මේ නිසා ප්‍රථම වරට බුද්ධ රූපය නිර්මාණය කිරීම කනිෂ්ක රාජ යුගයේදී සිදු වූ බව සඳහන් වේ.
බුදු පිළිම නිර්මාණය ගැන සඳහන් කරන ආචාර්ය ආනන්ද කේ. කුමාරස්වාමි ගේ අදහස වන්නේ ගන්ධාරයේ මෙන්ම මථුරා බෞද්ධ පූජා භූමියේද සමකාලිනව කුෂාන රාජයුගයේදී බුදු පිළිම නිර්මාණය වූ ආකරයකි. (Historyof Indian And Indunesian Art - London Reprint 1972 P.60) එමෙන්ම මථුරා බුදුපිළිම සම්ප්‍රදායට අයත් බුදු පිළිමවල ගන්ධාර බුදුපිළිමවල මෙන් රළු ස්වභාවක් නැත. තවද මථුරා බුදු පිළිමවල ඉන්දියානු දේශීයත්වයක් නිරූපණය වේ.
එපමණක්ද නොව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලක්‍ෂණ ද එම බුදුපිළිමවල දැකිය හැකිය.

හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ 

සිරිසමන් විජේතුංග


බුදු සසුන පිරිහුණේ ඇයි? - භික්ෂු විනය පිරිහි යාම -



බුදු සසුනෙහි පැවැත්ම විනය යි



බු දුරජාණන් වහන්සේ විසින් පන්සාළිස් වසක් පුරා දේශනා කරන ලද ධර්මය පිටක වශයෙන් වෙන් කරන ලද්දේ ප්‍රථම ධර්ම සංගායනාවේදීය. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු වය.
උන්වහන්සේ විසින් දේශිත ධර්මය ප්‍රථම සංගායනාවේදී ධර්ම විනය වශයෙන් දෙකොටසකට බෙදා සාකච්ඡා කොට ඒවා සුරැකිව පවත්වාගෙන යාම සඳහා ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂු කණ්ඩායම්වලට පැවරීම ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.
බෞද්ධ චින්නතනයට බෞද්ධ ශාසනයට සංසාර විමුක්තියට අදාළ දේශනා ධර්ම කාණ්ඩ යටතේ භික්‍ෂූ භික්‍ෂුණී දෙපිරිසේ පුද්ගල පාරිශුද්ධියට හා ශ්‍රමණ ධර්මය ආරක්‍ෂා කර ගැනීමට අදාළ දේශනා “ විනය” කාණ්ඩයටත් ඇතුළත් විය. සූත්‍ර පිටකය, විනය පිටකය නමින් අප හඳුන්වා ඇත්තේ එසේ සංගෘහිත ධර්මය යි.
ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන විටත් විනය හා සම්බන්ධ දේශනාවලට ප්‍රමුඛත්වයක් ලැබී තිබිණ. එම සංගායනාවේ දී ප්‍රථමයෙන් ම විමර්ශනයට භාජනය වූයේ විනය සම්බන්ධ දේශනාවන් වීමෙන් ඒ බව තහවුරු වන්නේ ය. ප්‍රථම සංගායනාව පැවැත්වීමට ආසන්න හේතුව වූයේද භික්‍ෂු විනයට අදාළ ප්‍රශ්නයකි. එනම් සුභද්‍ර නම් භික්‍ෂුවක විසින් ප්‍රකාශ කරන ලද අමනෝඥ කථාවකි. බුදුරදුන් පිරිනිවන් පෑම නිසා ශෝකයට පත් පෘථග්ජන භික්‍ෂූන් හඬනු, වැලපෙනු දුටු සුභද්‍ර” දැන් හඬන්නේ, වැලපෙන්නේ කවර හෙයින්ද, මෙය කළ යුතුය.මෙය නොකළ යුතුය,ආදි වශයෙන් අප වෙහෙසට පත් කළ ශ්‍රමණ භවත් ගෞතමයන් දැන් නැති නිසා අප සිත්සේ කටයුතු කළ හැකි වන්නේය “ යි කියමින් හැසිරෙන්නට විය. මෙය දුටු මහ තෙරුන් වහන්සේලා දැන් තත්වය මෙසේ නම් අනාගතයේ දි කෙබඳු දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක් උදාවනු ඇතිදැයි සංවේගයට පැමිණ ධර්ම සංගායනාවක් පැවැත්වීමට යුහුසුළු වූහ. ප්‍රථම ධර්ම සංගායනාව එහි ප්‍රතිඵලයයි. විනය සම්බන්ධ දේශනා පළමුවෙන් සංගායනා කරන්නට තීරණය වූයේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට මූලාධාර වන්නේ විනය නිසාය.
බුදුරදුන් විසින් විනයට අදාළව දේශනා කරන ලද ධර්ම කාරණා, ගිහි විනය පැවිදි විනය , වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. ගිහි විනයට අදාල කරුණු සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත වන අතර පැවිදි විනයට අදාළ කරුණු පාතිමොක්ඛ ,පාරාජිකා පාලි නමින් ද පාලි චුල්ලවග්ග, මහාවග්ග පරිවාර පාලි යන සූත්‍රවල ඇතුළත් වේ. විනය පිටකයට අයත් ග්‍රන්ථවල විද්‍යමාන වන කරුණු මූලික සුත්‍ර දේශනාවලද දැකිය හැකි වෙතත් ඒ සියල්ල වෙනම ම සංග්‍රහ කර ඇත්තේ එහි වැදගත්කම නිසාය.
ථෙරවාදීන් මෙන් ම මහා යානිකයන්ද විනය පිටකයට ප්‍රමුඛත්වයක් දී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුය. මේ දෙපිරිසට අයත් විනය සම්ප්‍රදායන්හි යම් යම් වෙනස්කම් විද්‍යාමාන වෙතත් හර වශයෙන් එක හා සමානය. විස්තර වශයෙන් ථේරවාදීන්ගේ විනය පිටකයට වඩා මහායානිකයන්ගේ විනය පිටකය ඉදිරියෙන් සිටී. ඊට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව 25 කි.
ථෙරවාදි විනය පිටකයේ ග්‍රන්ථවල ඇතුළත් වන විනය ශික්‍ෂාවන් “චාරිත්‍ර ශීල” හා වාරිත්‍ර ශීල” යනුවෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. වැළැකිය යුතු කරුණු වාරිත්‍ර ශීල නමිනුත්, පිළිපැදිය යුතු කරුණු චාරිත්‍ර ශීල හෙවත් සමාදාන ශීල නමිනුත් හැඳීන්වේ.
“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි.
විනය යන්නෙන් අදහස් කරන්නේ ශික්‍ෂාපද සමූහයක් හෝ නීති රීති සමුහයක් නොව භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස තුළ පැවතිය යුතු ශික්‍ෂණයයි. ශික්‍ෂාපද නමින් හඳුන්වන්නේ එම ශික්‍ෂණය ඇති කර ගැනීමට ඉවහල් වන නීති රීති සමූහය යයි. එම ශික්‍ෂාපද පනවා ඇත්තේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සංවරය, හැදියාව සහ හික්මීම තහවුරු කරණු පිණිසය. විවිධ වූත් විශේෂ වුත් න්‍යායයන් මගින් ශ්‍රාවකයන්ගේ කාය වාග් සංවරය ඇති කරන්නේය යන අර්ථයෙන් “ විනය” යන පදය සැකසී ඇතැයි සමන්තපාසාදිකාවේ එන අර්ථ නිරූපනයෙන් ද ඒ බව තහවුරු වේ. විනය පිටකය පුරාම ඇතුළත් වන්නේ ආභි සමාචාරික හා ආදි බ්‍රහ්ම චරියක ශික්‍ෂාවන් සමූහයකි. ඒවා ශ්‍රාවකයන් විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුවෙයි. ඒවා නොපිළිපදින්නේ නම්, ඔහු ශ්‍රාවකයෙක් නොවේ.
භික්‍ෂූන් වෙනුවෙන් විනය ප්‍රඥප්ති පැනවීම ආරම්භ වූයේ බුද්ධත්වයෙන් වසර 20 කට පසුවය. එතෙක් භික්‍ෂූ චර්යාවන් සකස් වූයේ ස්වයං ශික්‍ෂණයයෙහි මුල් යුගයේ දී. භික්‍ෂූන් සඳහා එබඳු නීති පැනවීමක් අවශ්‍ය නොවූයේ උන්වහන්සේලා මූලික බුද්ධ දේශනාවන්ට අනුකූලව කෙළෙස් නැසීමේ එකම අරමුණින් ශ්‍රමණ ධර්මය ආරක්‍ෂා කළ බැවිනි. පහාරාද සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට මුල් යුගයේ භික්‍ෂූන් ජීවත්වීම සඳහා හෝ විනය ශික්‍ෂාපද කඩ නොකළහ. ඉන්ද්‍රියයන්ට යටත් නොවූ උන්වහන්සේලා ඉන්ද්‍රියන් තමන්ට යටත් කොටගෙන ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයෙහි පිහිටා සිටියහ.
භික්‍ෂූන් වහන්සේ නමක් තුළ තිබිය යුතු ලක්‍ෂණ සතරක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. ඒවා නම් ප්‍රාතිමෝක්ෂ සංවරය, ආචාර ගෝචර සම්පන්නය සුලු වරදෙහි පවා බිය දක්නා සුලු වීම හා විනය පනවා ශික්‍ෂාපද නොඉක්මවීමයි. සතර ඉරියව්වලදී සිහි නුවනින් යුතුව ආචාර ගෝචර සම්පන්නව, ඇසුරු කළ යුතු නොකළ යුතු ගෝචර ස්ථාන හා අගෝචර ස්ථාන පිළිපැද අවබෝධයෙන් කාය වාග් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම නිසා මුල් යුගයේ භික්‍ෂූන් වෙනුවෙන් විනය ශික්‍ෂා පද පැනවීමක් අවශ්‍ය නොවීය.උන්වහන්සේලා සංවරයෙන් යුතුව ශීල සම්පන්නව ශ්‍රමණ ධර්මය පිරූ බැවිනි.
විනය යනු ද ශීලයයි.රාග දෝස, මෝහ යන අකුසල මූලයන් යටපත් කොට පුද්ගලයා උසස් තත්ත්වයට පත් කිරීමට ඉවහල් වන්නේ ශීලයයි. එහි පදනම විනය වන නිසා එය බෞද්ධ ප්‍රතිපදාවේ ආදිචරණය ලෙස ද හැඳින්විය හැකිය. ශීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් පදනම් වන බැවින් බෞද්ධ විමුක්ති මාර්ගයෙහිදී විනයට හෙවත් ශික්‍ෂණයට ප්‍රමුඛත්වයක් හිමි වී තිබේ.විනයෙහි ඇති ප්‍රයෝජන බුදු දහමෙහි විස්තර කර ඇත්තේ මෙසේය.
“විනය කාය වාග් සංවරය සඳහා සංවරය විපිළිසර නොවීම පිණිසය. විපිළිසර නොවීම නම් පී‍්‍රතිය සඳහාය. නැවුම් පී‍්‍රතිය මහත් වූ පී‍්‍රතිය සඳහාය. පී‍්‍රතිය නාම ධර්මයන්ගේ සන්සිඳීම සඳහා ය. නාම ධර්මයන්ගේ සන්සිඳීම සැපය සඳහාය. සැපය චිත්ත ඒකාග්‍රතාව සඳහාය . සිතෙහි ඇතිවන එක¼ග බව ඇත්තා ඇති සැටියෙන් දැකීම සඳහා ය.
ඇත්ත ඇති සැටියෙන් දැකීම සසර කළකිරීම පිණිසය. සසර කළ කිරීම එහි නො ඇලීම පිණිසය. සසරෙහි නොඇලීම විමුක්තිය සඳහාත් විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය සඳහාත් විමුක්ති ඥාන දර්ශනය, උපාදාන විරහිත වූ පරිනිර්වාන ය සඳහාත් හේතු වන්නේ ය.”
මේ දේශනය අනුව සංසාර විමුක්තියේ පදනම හෙවත් කාය වාග් සංවරය බව මැනැවින් පැහැදිලිවේ.
බෞද්ධ ඉගැන්වීම් අනුව පුද්ගලයාගේ චරිත සංවර්ධනය කොටස් දෙකකින් සමන්විතය. එනම් විද්‍යාව හා චරණයයි. “විජ්ජාචරණ සම්පන්නෝ” යන පාඨයෙන් ඒ බව ප්‍රකාශිත ය. විද්‍යාව යනු දැනීමයි. චරණය යනු ශික්‍ෂණයයි. ශික්‍ෂණය හෙවත් විනය අයත් වන්නේ මරණයටය. විද්‍යාව හා චරණය සාපේක්‍ෂ වශයෙන් එකිනෙකට බද්ධව පැවතිය යුතු අතර පුද්ගල සංවර්ධනය ඇති වන්නේ එබඳු සමවායයකින් පමණි. විද්‍යාවෙන් තොර චරණයත් , චරණයෙන් තොර විද්‍යාවත් පුද්ගල සංවර්ධනය මෙන් ම සමාජ පැවැත්මට ද හිතකර නොවේ.වර්තමාන සමාජයේ බොහෝ අර්බුද නිර්මාණය වී ඇත්තේ මේ සමවාය බිඳී යාමෙනි.
භික්‍ෂූන් උදෙසා විනය ශික්‍ෂාපාද පැනවීමේ අවශ්‍යතාව පැන නැගුණේ බුද්ධත්වයෙන් වසර 20 ක් ඉක්මයාමෙනි. විනය ශික්‍ෂාපද පැනවීමට හේතු වූ කරුණු සතරක් පාරාජිකා පාලියෙහි දැක්වේ. මේවා හඳුන්වන්නේ ආසවට්ඨානීය ධර්ම නමිනි .
1. ශාසනය ආරම්භ වී දිගු කලක් ගතවීම
2. සංඝයා සංඛ්‍යාත්මකව වැඩිවීම
3. සංඝයාට ලැබෙන ලාභ සත්කාර වැඩිවීම
4. සංඝයා බහුශ්‍රැත භාවයෙන් මහත් බවට පත්වීම
මේ කාරණා ඕනෑම සමාජයක් තුළ අර්බුද පැන නැගීමට හේතු වේ. කුඩාම සමාජ ඒකකය වූ පවුලකට වුවද එය සාධාරණ බව පෙනේ. පොදු මානව සමාජයටද ඒවා සාධාරණය.අතීතයත් වර්තමානයත් සසදන විට, මානව සමාජය තුළ විද්‍යාමානවන බොහෝ අර්බුද නිර්මාණය වී ඇත්තේ මේ ආසවට්ඨානීය ධර්මයන් නිසා බව පැහැදිලිව වටහා ගත හැකිය.
සමාජයක් යනු විවිධ වූ විෂම වූ පුද්ගලයන්ගේ එකතුවකි. සංඝ සමාජය ද එබඳුය. සංඝයා උදෙසා විනය ශික්‍ෂාපද පනවන්නට සිදු වූයේද ඒ විවිධත්වය නිසාම හටගත් අර්බුද හේතුවෙනි. වරින් වර විද්‍යාමාන වූ ශ්‍රමණ සාරුප්‍යයට අගෝචර සිදුවීම් පදනම් කර ගනිමින් පැනැවුණ විනය ශික්‍ෂාපද ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම නිසා ඒවා ගණනින් 227 ක් වී තිබේ.
විනය ශික්‍ෂාපද විමර්ශනය කරන විට අපට දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණය නම්, ඉන් 225 ක්ම ආගම වජ්ජ හෙවත් ආගමික සම්ප්‍රදායට පටහැනි වූ වැරදි වාරණය කිරීමට පනවා ඇති බවය. ව්‍යවහාර නීතිය අනුව වැරදි සංඛ්‍යාවට ගැනෙන්නේ. මනුෂ්‍ය ඝාතනය හා අදත්තා දානය සම්බන්ධ ශික්‍ෂාපද පමණි. මේ නිසාම විනය ශික්‍ෂා කඩ කරන්නවුන්ට නියම වන්නේද ආගමික දඬුවම්ය. රාජ නීතිය යටතේ දඬුවම් ලබන්නකු ඒ දඬුවමට අනිවාර්යයෙන්ම යටත් විය යුතු වුවත්, ආගම වජ්ජ වරදක් නිසා ආගමික දඬුවම් ලබන්නකුට එසේ අනිවාර්ය යටත් වීමක් ඇති නොවේ. දඬුවමට මුහුණ දිය යුත්තේද සිය කැමැත්තෙන් පමණි. උදාහරණයක් වශයෙන්, ව්‍යවහාර නීතිය යටතේ වරදක් සඳහා බන්ධනාගාරයට නියම වූවකු අධිකරණ ක්‍රියා මාර්ගයකින් නිදොස්ව නිදහස් වුවොත් මිස ඒ දඬුවමින් මිදිය හැකි නොවේ. එහෙත් කවර තරාතිරමේ හෝ විනය ශික්‍ෂා පදයක් කඩ කළ භික්‍ෂුවකට ලැබෙන දඬුවම විඳීමට හෝ එසේ නොවිද සසුනින් බැහැර වීමට අයිතියක් මෙන්ම නිදහසක්ද තිබේ. එයින් ආධ්‍යාත්මික හානියක් මිස කවර ආකාරයේ හෝ සමාජ හානියක් ඔහුට සිදු වන්නේද නැත. බොහෝ භික්‍ෂූන් විනය විරෝධීව හැසිරෙන්නේ මේ පුද්ගල ස්වාධීනතාව අවියක් කර ගැනීමෙනි. ඒ අනුව විනය ශික්‍ෂාපද යනු අවබෝධයෙන් ස්වේච්ඡාවෙන් හා උදාර අරමුණින් යුතුව ආරක්‍ෂා කරගත යුතු ඒවා මිස බලහත්කාරයෙන්, ද¾ඩුවමින්, අකැමැත්තෙන් ආරක්‍ෂා කරවිය හැකි ඒවා නොවන බව වටහා ගත යුතුය. ඒවා භික්‍ෂු භික්‍ෂුණීන්ට පමණක් ම සීමිත ශික්‍ෂා මාර්ගයක් පමණි. විනය ශික්‍ෂා පදවල ස්වභාවය හා අන්තර්ගතය විමසීමෙන් මේ බව වඩාත් පැහැදිලිවේ.
විනය ශික්‍ෂාපද පනවා ඇත්තේ අරමුණු කීපයක් සපුරා ගැනීම සදහාය. විනය ශික්‍ෂාපදවල අන්තර් ගත වන්නේ ඒ සඳහා පාදක වන කාරණා වන්ය. මෙහි පහත දැක්වෙන්නේ ඒ අරමුණුයි.
1. භික්‍ෂු සමූහයාගේ යහපත් පැවැත්ම සඳහා
2. භික්‍ෂු සමූහයාගේ හිත සුව සඳහා
3. භික්‍ෂු සමූහයා අතර සිටින නොහික්මුණු අවිනීත පුද්ගලයන්ට නිග්‍රහ කොට, ඔවුන් හික්මවා ගැනීම සඳහා
4. සුපේශල භික්‍ෂූන්ගේ ඵාසු විහරණය සඳහා
5. මෙලොව දී ඇතිවන ආශ්‍රවයන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා
6. පරලොව දී ඇති විය හැකි ආශ්‍රවයන්ගෙන් දුරුවීම සඳහා
7. නොපැහැදුනවුන් ගේ පැහැදීම ඇති කිරීම සඳහා
8. පැහැදුනවුන්ගේ පැහැදීම වැඩි දියුණු කරලීම සඳහා
9. නිර්මල වූ ධර්මය බොහෝ කාලයක් පැවතීම සඳහා
10. භික්‍ෂූන්ගේ කාය වාග් සංවරය ඇති කර ගැනීමට උපකාර වීම සඳහා
ශික්‍ෂාපද අනු ශික්‍ෂා පද ආදී වශයෙන් හා පාරාජිකා සංසාදිසේස, අනියත, නිසගි පචිති හා පචිති පාටි දේශනීය අධිකරණ සමථ, සේඛියා යන කාණ්ඩ වශයෙන් වූ 227 ක් වන ශික්‍ෂාපදයන්හි අන්තර්ගත වන්නේ මෙකී අභිප්‍රායයන් සපුරා ගැනීමට ඉවහල් වන ව්‍යවස්ථාවන්ය. විනය පිටකයේ දක්නට නොලැබෙන, එහෙත් භික්‍ෂූන්ගේ ආයති සංවරයට ඉවහල් වන විනය නිර්දේශ සමූහයක් අට්ඨකතාවලින් ඉදිරිපත් වේ. “ පාලි මුන්පාක විනය” නමින් හඳුන්වන්නේ ඒවාය. මේ හැම ප්‍රඥප්තියක්ම විනය නිර්දේශ හැටියට ථේරවාදිහු පිළිගනිති.
බෞද්ධ විනය සම්ප්‍රදායේ විශේෂත්වය නම් ඒ තුළ විද්‍යමාන වන ප්‍රජාතාන්ත්‍රීය ස්වභාවයයි. සෑම ශික්‍ෂා පදයක්ම පනවා ඇත්තේ සාධාරණ පදනමක් යටතේ වීමත්, සාධාරණ හේතු මත ඒවා වරින්වර සංස්කරණය වී තිබීමත්, බුදු සසුනේ විනය මිස විනය පාලකයකු නොවීමත් ඒ ප්‍රජාතාන්ත්‍රීය ස්වභාවය තහවුරු කරයි. බුද්ධ කාලයේ සිටම සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූන් වහන්සේලා වැඩි ප්‍රමුඛත්වයක් දී ඇත්තේ විනයටය. ඉතා සුලු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් වුවද මහත්සේ විස්සෝපයට පත් වූයේ එබැවිනි. ඒ සම්බන්ධ උදාහරණ ශාසන ඉතිහාසයෙන් ඕනෑ තරම් සපයා ගත හැකිය. නිකාය භේදය පවා ඇති වූයේ විනය මුල්කරගෙනයි.
බුදුසමය ලංකාවේ මුල් බැස ගැනීමෙන් පසු මහා විහාරීය භික්‍ෂූන් අනුගමනය කළේද එම ආකල්පය මය. විනය ආරක්‍ෂා කිරීමටත් විනය විරෝධීව කටයුතු කරන්නන්ට නිග්‍රහ කොට දඩුවම් පැමිණවීමටත් උන්වහන්සේලා පසුබට නොවූහ. එහිදී ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සිංහල රජ දරුවන්ගේ සහාය ද උන්වහන්සේලාට නො අඩුව ලැබිණ. බොහෝ අවස්ථාවල දුසිල් මහණුන්ට ශාසනික දඩුවම් පමණක් නොව රාජ දඬුවම් පවා ලබාදුන් බවට ශාක්‍ෂ්‍ය අපේ ඉතිහාසයෙන් හමුවේ.
විවිධ සමාජ, ආර්ථික ,දේශපාලනික හේතු නිසා අපේ රටේ බුදු සසුන පිරිහි ගිය අවස්ථා දැකිය හැකිය. එසේ පිරිහී ගියේ භික්‍ෂූන් අවිනය වාදීව හැසිරුණු නිසාය. ඇතැම් අවස්ථාවල විනය කර්මයක් සිදු කිරීමට අවශ්‍ය තරම් උපසම්පන්න භික්‍ෂූන් නොවූ අවස්ථාද තිබේ. අඹු දරුවන් පෝෂණය කරමින් පැවිද්දන්ට අකැප වෘත්තීන්හි නියැළෙමින්, තිරශ්චීන විද්‍යාවන් ජීවනෝපාය කර ගනිමින් දුසිල් භික්‍ෂූන් සසුන කෙළෙසූ හැම අවස්ථාවකම ඒ විනාශය පිටු දකින්නට ධර්ම විනය ධර භික්‍ෂූහු පුරෝගාමී වූහ. රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් ශාසනික කතිකාවත සම්මත කරගත්හ. මහා පරාක්‍රමබාහු කතිකාවත දඹදෙණි කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, සහ ශ්‍රී රාජාධි රාජසිංහ කතිකාවත ඇතුළු කතිකාවත් ඊට නිදසුන්ය. ඒ හැම ව්‍යායාමයකම අරමුණ වූයේ ශාසනික විනය තහවුරු කිරීමය. එකී කතිකාවත්වල එන පූර්ව විඥානයන් හා අන්තර්ගත ව්‍යවස්ථාවන් විමර්ශනය කිරීමෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි.
මේ ඓතිහාසික පසුබිම හා වර්තමාන ශාසනික තත්වය විමසීමේදි අපට දකින්නට ලැබෙන්නේ සතුටුදායක තත්ත්වයක් නොවේ. ඊට හේතුව නූතන සංඝ සමාජය තුළ විනය පිරිහී යාමේ ලක්‍ෂණ විද්‍යාමාන වීමයි.
ඉහත සඳහන් කළ ශාසනික කතිකාවත් සියල්ලේම එබඳු කතිකාවතක් ඇති කිරීමට හේතුවූ පසුබිම් පොදු ප්‍රකාශනයක් ලෙස ඒවායේ පූර්ව විඥානයෙහි එයි.
මහනුවර යුගයේදී සම්පාදිත කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවතෙහි ඒ පසුබිම තව දුරටත් මෙසේ විස්තර කර තිබේ. “ නක්‍ෂත්‍රය, වෛද්‍ය කර්මය, යක්‍ෂ ප්‍රලය ආදී වූ බුදුන් විසින් එපා යැයි වදාළ ශාස්ත්‍ර ඉගැන්මෙන්, රාජ රාජ මහා මාත්‍ය සේවනයෙන් ග්‍රාම ක්‍ෂෙත්‍රාදී තනතුරු ලබා ගැන්මෙන් ගොවිතැන් වෙළෙදාම් ආදී වූ නොයෙක් අකර්තවයන්හි යෙදී ඤාති කුල සංඝට්ඨ වැ පුත්‍රදාර පෝෂණශීලිව ශාසන පිළිවෙත් පිරිහී ගොස් විනාශ මුඛ ප්‍රාප්තව සිටි කල්හි....”
මේ ප්‍රකාශනවලින් පැවසෙන්නේ භික්‍ෂූන් වහන්සේලා ශික්‍ෂණයෙන් බැහැරව වැරදි ක්‍රියාවලට යොමුවීම නිසා කතිකාවත් සම්පාදනය කරන්නට සිදුවූ බවයි.. “අප්‍රතිපත්ති” යනු විනයට අදාළ නොවු පැවැතුම්ය “දුෂ්ප්‍රතිපත්ති” යනු වැරදි පැවැතුම් ය.
අප්‍රතිපත්ති, දුෂ්ප්‍රතිපත්තිවලට යොමුවීමෙන් සිදු වන්නේ භික්‍ෂූන්ගේ ශාසනික විනය පැවැත්ම පිරිහී යාමයි. කතිකාවත් සම්පාදනය කිරීමට තුඩු දුන් ශාසන පරිහානියේ ලක්‍ෂණ දැනුදු අපට පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම වර්තමාන බොහෝ තරුණ භික්‍ෂූන් අතර මෙන් ම වැඩිහිටි භික්‍ෂූන් අතරද මේ “අප්‍රතිපත්ති, දුෂ්ප්‍රතිපත්ති “දකින්නට ලැබේ. ඒ වායේ ප්‍රතිඵල ලෙස වැරදි කරන්නවුන් “අපාය පන්න වන ශාසනාවචර කුල පුත්‍රයන් “වීමට වඩා භයානක ප්‍රතිඵලය වන්නේ බුද්ධ ශාසනයේ පැවැත්මට බරපතළ තරජනයක් එල්ලවී තිබීමයි.
ශාසනාවචාර කුලපුත්‍රයන් හෙවත් භික්‍ෂූන්ගේ වගකීම ශාසනය ආරක්‍ෂා කිරීමයි. ශාසනය ආරක්‍ෂා කිරීම යනු විනය ආරක්‍ෂා කිරීමයි. යට සඳහන් කළාක් මෙන්” විනයේ ඨිතේ, සාසනං ඨිතං හෝති විනය රැකුණු කල්හි සසුනද රැකෙන්නේය යන බුද්ධ වචනය නිතර මෙනෙහි කළ යුතු අවස්ථාවක් දැන් එළැඹ තිබේ. ශාසන බාරධාරීන් නේම රාජ්‍ය නායකයන්ද මෙහි දී තම තමන්ගේ ඓතිහාසික වගකීම යළි සිහියට නගා ගෙන නොපමාව යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට උත්සුක වන්නේ නම් ශාසනයේ චිරස්ථිතියට මහත් පිටුවහලක් ලැබෙනු නිසැකය.

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය

ඌව - වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති

ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි





පසු වදන
----------
මහා සංඝයා විසින් බුදු සසුන හදුනාගන්නා 
තත්වයට පත් කිරීමටත්, ගිහියන්ගේ කටයුතු සිදු නොකර සැබැ ශාසනික ප්‍රතිරූපය ඉස්මතු වන මුනිවරුන්ගේ සසුනක් බිහි කරවීම පිණිසත්, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් 

පිරිස අධිෂ්ඨානශීලිව පෙරගමන් කළ යුතු ය.

‘චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං‘

තෙරුවන් සරණයි!!!

බුදු සසුන පිරිහුණේ ඇයි? - අවසන් රහතුන් මලියදේව හිමියන් යැයි පතල කිරීම





පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජු කල බැමිණිටියාසාය පවතිද්දී චුළ පිණ්ඩපාතික තිස්ස තෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාග තෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.
දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජු කල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ වාර්තාගත අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු වකවානුව උන්වහන්සේගේ නමෙහි අර්ථය, ජීවන තොරතුරු කෙටියෙන් සළකා බැලීම සුදුසු ය. උන්වහන්සේ ගැන තොරතුරු කියන මූලාශ්‍ර කීපයකි. මහාවංසය, මහාවංස ටීකා, විශුද්ධිමග්ග, සීලවත්ථුප්‍රකරණය, සහස්සවත්ථුප්‍රකරණය, පාලි රසවාහිණී, විභංග අටුවා, මැදුම් සඟි අටුවාව, සඟ සරණ, සද්ධර්මාලංකාරය ඉන් කීපයකි. ඒ හැර උන්වහන්සේ ගැන ජනප්‍රවාද රැසකි. අංගුත්තර අටුවාවේ මහාදේවහිමි මලියදේවහිමි නමින් ද මහාවංශටීකාවේ මලය මහාදේව නමින් ද උන්වහන්සේ හැඳින්වෙන බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ “අටුවා පරීක්‍ෂණය” ග්‍රන්ථය කියයි. එහෙත් පසුකල පොල්වත්තේ බුද්ධදත්ත හිමි සංස්කරණය කළ සහස්ස වත්ථුප්‍රකරණය ප්‍රස්තාවනාවේ දී ලංකාවේ මලියදේව නමින් තෙරවරුන් දෙදෙනෙකු පිළිබඳ කියවෙයි. ආචාර්ය අදිකාරම් මහතාට අනුව මහාදේව, මලයදේව, මලියදේව, කාලදේවවාසී මහාමලිය, දේව යන නම් රැසකින් උන්වහන්සේ විවිධ මූලාශ්‍රවල හඳුන්වා ඇත. මහාවංශයේ සඳහන් මලියදේව හිමි හා විභංග අටුවා විශුද්ධිමග්ග සඳහන් කරන හිමි මලියදේව නමින් සිටි දෙදෙනා බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ අදහසයි. එහෙත් මූලාශ්‍ර ගණනාවක විවිධ නාමවලින් හඳුන්වා ඇත්තේ එකම හිමිනමක් බව සිතීම සාධාරණය.

මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ යැයි ජනප්‍රවාදයේ සැලකෙන කුරුණෑගල ඉබ්බාගමුව අරංකැලේ වනවාසාරාම කුටිය.
ඊළඟට උන්වහන්සේගේ නියම නම ‘මලයදේව‘ ද නැත්නම් මලියදේව ද ැයි විමසා බැලීම සුදුසු ය. ‘මලයදේව‘ යන නම උන්වහන්සේගේ නිවැරැදි නම නම් ඒ නම ලැබුණේ උන්වහන්සේ කඳුරටේ දී උපන් නිසා බව පොල්වත්තේ බුද්ධදත්ත නා හිමියෝ ‘අටුවා පරීක්‍ෂණය’ ග්‍රන්ථයේ දී පෙන්වා දෙති. උන්වහන්සේගේ නියම නම මලියදේව නම් ඒ නම ලැබුණේ මාලදිවයිනේ උපන් නිසා බව පොල්වත්තේ බුද්ධදත්ත හිමි ලිවූ අටුවා පරීක්‍ෂණය ග්‍රන්ථයේ දී හා සහස්සවත්ථුප්‍රස්තාවනාවේදී කියයි. ආචාර්ය අදිකාරම් උන් වහන්සේ ලංකාවේ කඳුරටේ උපන් නිසා ‘මලයදේව‘ නම් වූ බව සිතයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ලිවූ ‘සිලොන් ඇන්ඩ් මැලේසියා’ ග්‍රන්ථයේ දී උන්වහන්සේට ඒ නම ලැබුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේ ඉපදුණු නිසා බව කියයි. ජෝන් සිරිමත් ද සොයිසා 1959 අප්‍රේල් 12 සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයට ලිපියක් සපයමින් මේ අදහස පිළිගනියි.

මලියදේව හිමි වැඩ විසූ කාලය

සාලිය කුමරු පෙරභවයේ දී දුන් දානයක් උන්වහන්සේ පිළිගත් බව මහාවංශ ටීකා හා පාලි රසවාහිණී කියන බැවින් උන්වහන්සේ වැඩ සිටියේ දුටුගැමුණු රජු යුගයට (ක්‍රි.පූ. 161 – 137 ) කිට්ටු කාලයක බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ අදහස් කරති. දුටුගැමුණු කුමරු පියාට අකීකරුව මාගම සිට මලය රටට පලාගිය විට තමාට ලැබුණු ධාන්‍යවලින් මලියමහාදේව තෙරුන්ට දානයක් දුන් බව සීහළවත්ථුප්‍රකරණයේ 42 කතාව කියයි. මේ අනුව කාවන්තිස්ස රජුට ආසන්න යුගයේ සිට දුටුගැමුණු රජු අවදිය දක්වා (ක්‍රි.පූ. 161 – 137 ) මලියදේව රහත් හිමි ජීවත්ව සිටි බව සිතාගත හැකි ය.

මලියදේව හිමි ගැන තොරතුරු

ලංකාවේ කඳුරටේ දී මාලදිවයිනේ දී හෝ ඈත පෙරදිග මලය රාජ්‍යයේ උපන් එතුමා ලංකාවේ මණ්ඩලාරාමයේ දී ශිල්ප හදාරා ඇත. මණ්ඩලාරාමය යනු වට්ටාරාම බව පොල්වත්තේ බුද්ධදත්ත හිමි හා ආචාර්ය අදිකාරම් පෙන්වා දෙති. කෑගල්ලේ පිහිටි වට්ටාරම අවට මලියදේව හිමියන් ගැන ජනකතා රැසක් ඇත. වට්ටාරම තිබූ දඹරන් බුදුපිළිමය මලියදේව හිමියන් විසින් වැඩම කර වු බව විශ්වාසයයි. අවුරුදු තුනකින් ත්‍රිපිටකය හදාරා නිමකළ මලියදේව හිමියන් කුඩා කල තමාට නිතර දානය පිළිගැන් වූ මහලු උපාසිකාවකට පසුව ගැඹුරු ධර්ම දේශනාවක් කර ඇය සෝවාන් මාර්ගයට පත් කළ බව ‘සඟසරණ’ හයවෙනි කතාවේ කියවෙයි. පපංචසුදනී පාලි අටුවාව අනුව මලියදේව හිමිය ලෝවාමහාපායේ පහත මාලයේ දී ධජග්ග සූත්‍රය දේශනා කොට භික්‍ෂූන් හැට නමක් රහත් ඵලයට පත් කරවුහ. එසේම දීඝවාපී, මිහින්තලේ, මුතියංගනය, සිතුල්පව්ව, කැලණිය යන ස්ථානවලදී ද උන්වහන්සේ හැට නම බැගින් රහත් කරවා ඇත. කැලණියේ දී උන්වහන්සේ හැට නමක් රහත් කර වු බව පසුකල ලියවුණු සැළලිහිණි සන්දේශය මෙසේ කියයි.

ගිලිය නොදී සැට මහණුන් බව මහණ
                                                     මලියදෙව් තෙරිඳු වැඩහිඳ දෙසූ බණ


මෙහි සඳහන් ලෝවාමහාපාය යනු මහාවංශය කියන දෙවනපෑතිස් රජු කළ ලෝවාමහාපාය ද නැත්නම් දුටුගැමුණු රජු කල මහල් නමයක් තිබූ ලෝවමහාපාය ද පැහැදිලි නැත. තරුණ කල පියා හා අමනාපව මලය රටට පලාගිය ගැමුණු කුමරු තමා ලද ධාන්‍යවලින් මලියදේව හිමියන් වෙත දානයක් දුන් පුවත සිහළවත්ථුවේදී විස්තර වෙයි. සීහළවත්ථු 76 කතාවේ උපාසකයෙකුගේ දානයක් පිළිගත් මලයගිරිවාසී තෙරනම මේ මලියදේව හිමියන් ලෙස හඳුනාගත හැක. තමාට දානය දුන් උපාසකයාට යාමට මාර්ගය පැහැදිලි කර දුන් හ. ඔහු එසේ යන විට රිදී ගොඩක් දැක දුටුගැමුණු රජුට ඒ ගැන දන්වා සිටියි. දුටුගැමුණු රජු ගැල් පන්සීයක් යවා රුවන්වැලි සෑයට අවශ්‍ය රිදී එහි සිට ගෙන්වා යයි. මේ කතාව අනුව මලියදේව හිමි දුටුගැමුණු අවදිය දක්වා ජීවත් වූ බව පෙනෙයි. සහස්සවත්ථු 77 කතාව අනුව මලියදේව හිමියන් චූලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගිය පුවතක් විස්තර වෙයි. මලියදේවහිමියන් තම උදරාබාධය සඳහා බෙහෙත් කැඳක් පිළියෙළ කරදුන් චුලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගොස් මෛත්‍රීය බෝසතුන් හා සිළුමිණිසෑය වැඳගත් අයුරු පාලි රසවාහිණියේ ද විස්තර වෙයි. සිංහල සද්ධර්මලංකාරයේ මේ උපාසාකයාගේ නම සුළුගුළු උපාසක ලෙස දැක්වෙයි. බෙහෙත් කැඳ ලිප තබා පදම් වනතුරු එතුමා චුලගල්ල උපාසක සමඟ දෙව්ලොව ගොස් ආ පුවත මෙහි එයි. ඒ අනුව සුළුගුළු උපාසක විසුවේ කුරුණෑගල දැදුරුඔය අසළ මලියදේව හිමි විසු විහාරයක් අසළ ය.

මලියදේව හිමියන් කුඩා කල වැඩිපුර කල් ගෙවූ වට්ටාරම පොල්ගහවෙල නුදුරු විහාරයකි. පැරැණි ලිපියක වට්ටාරම විහාරය ගෝඨාභය නම් රජෙකු කළ බව කියැවෙයි. වට්ටාරාම හෙවත් මණ්ඩලාරාමයේ දහවෙනි සියවසට පමණ අයිති ටැම්ලිපි කීපයක් හමුවෙයි. ලංකාවේ ස්ථාන ගණනාවක මලියදේව මා හිමියන් විසූ බව කියවෙන විහාර හා ඒ පිළිබඳ ජනප්‍රවාද හමුවෙයි. ඒ අනුව කලින් කල එතුමා සංචාරය කරමින් කල් ගෙවූ බව පෙනෙයි. ජන විශ්වාස අනුව බුදුහිමියන් පිරිනිවන් පෑ පසු බුද්ධදේහය රන් දෙනක බහා ආදාහනය කරන විට ඉන් පැන නැඟුණු දඹරන් බුදුපිළිම හතරක් ලංකාවට වැඩම කළේ මලියදේව හිමියන් විසිනි. ඒ දඹරන් පිළිම හතර 1. කෑගල්ල නුදුරු වට්ටාරාම 2. කොත්මලේ පුසුල්පිටිය 3. හඟුරන්කෙත මාදන්වෙල 4. පදියපලැල්ල නුදුරු මොරපාය විය. (මහාචාර්ය නන්දසේන මුදියන්සේ හා මහාචාර්ය පරණවිතාන අනුව මේ දඹරන් බුදුපිළිම ගම්පළ යුගයේ පමණ ඉන්දියාවේ නිමකළ ඒවා ය. නැත්නම් ඉන්දියාවේ සිට ගඩලාදෙණිය, ලංකාතිලකය වැනි විහාර සෑදීමට ලංකාවට ආ දකුණු ඉන්දීය ශිල්පීන්ගේ නිර්මාණ වෙයි.) සද්ධර්මාලංකාරයේ මේඝවර්ණ වස්තුව අනුව උදුම්බරගිරි පර්වතයේ මලියදේව හිමියන් වැඩ වසන කල එතුමාට උවටැන් කළ මේඝ වර්ණදෙවි ගැන පසුකළ කියවෙයි. මේ කතාවේ කියවෙන උදුම්බරගිරි යනු දිඹුලාගල විය හැක. නවුල්ලේ ධම්මානන්ද හිමි ‘මධ්‍යම ලංකා පුරාවෘත්ත’ ග්‍රන්ථයේ කියනුයේ උදුම්බරගිරි යනු වත්තේගම පන්විල නුදුරු හුන්නස්ගිරිය කඳුවැටිය බවයි. වත්තේගම සිට ඇල්කඩුවට විහිදෙන පාරේ මලියදේව හිමියන් වැඩ සිටි බව කියන කටාරම් කෙටු මලියදේව ආරණ්‍ය නම් ගල් ලෙනක් ඇත. කොත්මලේ පුසුල්පිටියේ කලකට පෙර වැඩ සිටි දඹරන් බුදුපිළිමය අසළ එම දඹරන් පිළිමයට අධිගෘහිත උදුම්බරගිරි සිට ආ එම පිළිමයේ ආරක්‍ෂාව සැළසූ මේඝවර්ණ දෙවිඳුට කැප වූ දේවාලයක් ඇත. කොත්මලේ පුසුල්පිටිය විහාරයේ මලියදේව හිමියන් වැඩ සිටි අතර ඒ පිළිබඳ ජන කතා රැසක් කොත්මලේ විසිර පවතී.

මහාවංසයේ 32 පරිච්ඡෙදයේ දුටුගැමුණු රජු (ක්‍රි.පු. 161- 137 ) තම මරණ මංචකයේ දී තමා කළ පින් ඇතුළත් පින්පොත අසද්දී රජු මලියදේව හිමියන්ට දුන් දානයක් උන්වහන්සේ සමන්ගිරි පර්වතයේ නවසීයක් භික්‍ෂූන් සමඟ වැළඳු බව කියවෙයි. ජනප්‍රවාද අනුව මලියදේව රහත්හිමි අපවත් වූ පසු උන්වහන්සේගේ දේහය තම සහෝදරියට දැක ගැනීම පිණිස අහසින් අවුත් මැණික්දෙන නම් ස්ථානයට පහත් වී ඇත. දඹුල්ලේ පැරණි මැණික් දෙන විහාර සංකීර්ණය පිහිටා ඇත්තේ එහිය. මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් නම යැයි කීම වැරැදියැයි පොල්වත්තේ බුද්ධදත්ත හිමි හා ආචාර්ය අදිකාරම් පෙන්වා දෙති.

මලියදේව මහරහතන් හිමියන්ට පසු වැඩ සිටි රහත් හිමිවරු

වංශකතා සාහිත්‍ය මූලාශ්‍ර හා විදේශීය වාර්තා අනුව මලියදේව මහ රහතන් හිමියන්ට පසු වැඩසිටි රහතන් වහන්සේ පිළිබඳ තොරතුරු හමුවෙයි.
1. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 – 137 ) ඉදිකළ ලෝවාමහාපාය පහළ සිට ඉහළට මහල් වෙන් වී තිබුණේ භික්‍ෂූන් සිටි ආධ්‍යාත්මික මට්ටම් අනුවය. ඒ අනුව ලෝවාමහාපායේ ඉහළම මහල් හතර වෙන්වී තිබුණේ රහතන් වහන්සේලාටය. රහතන් වහන්සේලාට මහල් නවයෙන් හතරක් ම වෙන් කිරීමෙන් පෙනී යන්නේ විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටි බවයි.
2. දුටුගැමුණු රජුට පසු රජ වූ සද්ධාතිස්ස රජු කල (ක්‍රි.පූ. 137 – 119 ) රුහුණේ සේනාපබ්බතගම මහා නාගතෙර විදසුන් වඩා රහත් වූ බව සදහන් වෙයි.උන්වහන්සේ පිරිනිවන් පෑ පසු සද්ධාතිස්ස රජු මහානාග තෙරුන්ගේ දෙන එසවීමට තැත් කළත් බැරි වූ බව සිහළවත්ථු 29 කතාව කියයි.
3. වළගම්බා රජු කල (ක්‍රි.පූ. 103 – නැවත 89 –77 )බොහෝ රහතන් වහන්සේ හා ධ්‍යානලාභී භික්‍ෂුහු බැමිණිටියා සාගතය නිසා නිරාහාරව පිරිනිවන් පෑහ.
වල්පොල රාහුල හිමියන්ගේ ‘ලංකා බුදුසමයේ ඉතිහාසය’ ග්‍රන්ථය අනුව තිස්සමහාරාමය හා සිතුල් පව්වේ භික්‍ෂූන් 24, 000 එකදා නිරාහාරව අපවත් වූ බව අටුවාවල කියවෙයි. බැමිණිටියා සාගතය කල කුසගින්න උග්‍රව සොර රැළක් මහාභය තෙර මරා මස් කෑමට සැරසෙන විට මහාභය තෙර විදර්ශනා වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ අභය තෙර කතාව කියයි. වළගම්බා රජවූයේ දුටුගැමුණු රජුට අවුරුදු පණහකට පමණ පසුය.
4. පාලි රසවාහිණී හා සද්ධර්මරත්නාවලිය අනුව වළගම්බා රජුකල බැමිණිටියාසාය පවතිද්දී චුළපිණ්ඩපාතික තිස්සතෙර විදර්ශනා වඩා රහත් වූ බව රසවාහිණී අම්බ අමාත්‍ය වස්තුව කියයි.
5. වළගම්බා රජු වනගතව සිටියදී උදාවූ බැමිණිටියාසාය කල කොටගලවාසී මහානාගතෙර විදසුන් වඩා රහත් වූ බව පාලි රසවාහිණියේ ජයම්පතී වස්තුව කියයි.
6. සඳ මුහුණු හෙවත් චන්ද්‍රමුඛ සිව රජු කල (ක්‍රි.ව. 43 – 52 ) අනුරාධපුර මහාවිහාරයේ සිටි ඇස් පෙනීම අඩු රහත් හිමිනමක් ගැන මැදුම්සඟ අටුවාවේ කියයි.
7. වසභ රජු කල (ක්‍රි.ව. 67 – 111 ) කන්ථකසාල පිරිවෙන්වාසී තෙරනමක් රහත් බව ලබා ඇත. ශිලාලිපිවල ‘වහබ’ නමින් හඳුන්වන මේ රජු රජ කළේ මලියදේව හිමි අපවත්ව අවුරුදු 250 පමණ පසුය. ඒ අනුව ක්‍රි.ව. පළමු සියවසේදීත් රහතන් වහන්සේ සිටි බව පෙනී යයි. වසභ රජුට පසු කාලයේ ක්‍රමයෙන් රහතන් වහන්සේලාගේ ප්‍රමාණය අඩු වී ගොස් ඇති අතර ඒ පිළිබඳ තොරතුරු සෙවීම දුෂ්කරය.
8.පාලි හත්ථවනගල්ල විහාරවංශය හා සිංහල අත්තනගළු වංශය (මුල් සිංහල අත්තනගළුවංශය ගම්පළ කල ලියවී ඇත. දෙවැනි සිංහල අත්තනගළු වංශය කෝට්ටේ මහා වීදාගම හිමි කියවන ලදුව එතුමාගේ ශිෂ්‍යයෙකු ලියා ඇත). ඒ අනුව අත්තනගළු විහාරයේ විසූ තෙර නමක් පොළොව ගුගුරුවා ගෙන රහත් වූ බව කියවිණි. පළමු උපතිස්ස රජු (365 – 406 ) එම පොළොව ගිඟුරුම් හඬ අසා අත්තනගළු විහාරයට ගොස් උන්වහන්සේ බැහැ දැක එම රහත්හිමි නමට පස් මහල් මැඳුරක් කරවා පිදු බව අත්තනගළුවංශය 10 පරිච්ඡේදය කියයි. මේ කියවෙන හිමිනම පොළොව ගිඟුරුවා ගෙන රහත්වූයේ අත්තනගළු විහාරයේ ය.
එකළ රජ කළේ පළමු උපතිස්ස රජු ය. (365 – 406 ) ඒ මලියදේව මා හිමියන් අපවත් වී අවුරුදු 550 පමණ පසුය.
9. මහානාම රජු කල (406 – 428 ) ලංකාවට ආ පාහියන් නම් චීන හිමිනම දුටු විස්තර ගමන් චාරිකා විස්තරයක් ලෙස ලිවූ අතර එය ‘පාහියන් දේශාටන වාර්තාව‘ ලෙස සිංහලෙන් පලවී ඇත.
පාහියන් හිමියෝ මහා විහාරයේ උග්‍ර තපස් රැක රහත් වු හිමි නමකගේ ආදාහන උත්සවයක් අනුරාධපුරයේ දී දැක ඒ ගැන විස්තර කරති. මේ රහත්හිමිනම වැඩ සිටියේ මහානාම රජු කල (406 – 428 ) මහාවිහාරයේ ය. වැඩසිටියේ මලියදේව හිමියන්ට අවුරුදු 550 – 600 පමණ පසුකලයි.
10. මේ අනුව දුටුගැමුණු රජු කල අපවත් වූ මලියදේව හිමියන් ලංකාවේ අන්තිම රහත් තෙරනම නොවේ. උන්වහන්සේ අපවත් වී තවත් අවුරුදු 550 – 600 පසුවත් ලංකාවේ රහත්හිමිවරුන් වැඩ සිට ඇත. අත්තනගළු වංශය කියන පළමු උපතිස්ස රජුකල විසූ හිමිනම හා ඉන්පසු පාහියන් හිමි කියන මහානාම රජු කල මහා විහාරයේ වැඩසිටි හිමි නම ලංකාවේ අන්තිම රහතන් වහන්සේලා විය හැකි ය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 

එස්.කේ. ජයවර්ධන


පසු විපරම
------------
‘භවත් සුභද්‍ර, මා කියා දෙන පිළිවෙලට භික්ෂූන් වහන්සේලා වාසය කරත් නම්, මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවන්නේ ය‘
(පරිනිබ්බාන සූත්‍රය - දීඝ නිකාය 2)

මේ අනුව පෙනෙන්නේ, ජයවර්ධන මහතා ගෙනහැර පාන පරිදි, ශාස්තෘ වචනයෙහි හික්මුණ පිරිස් පසු කලෙක ද සිටියා නම්, රහතුන් පහළවිය හැකි බවයි. එසේ ම, පසු කාලින සාක්ෂීන්ට අනුව ද මලියදේව රහතුන් අවසන් රහතුන් නොවේ. කිසිවෙකුත් නොදන්නා හේතුවක් නිසා, මලියදේව රහතුන් ලංකාවේ අවසන් රහතුන් යයි පවසා, ශ්‍රාවකයා මුලාකොට ඇත. සසුන් පිළිවෙතෙහි උකටලී කොට ඇත. ඇතැම් විට මෙය අරි අටැගිමග අතහැර බුදු බව පිණිස පෙරුම්දම් පුරන්නෝ බිහි වූ යුගයේ ඔවුන් විසින් බිහිකළ කල්පිතයක් ද විය හැකිය. අවසානයේ දී සිදු වුයේ මේ ලණු වහන්සේ විමසා බැලිමකින් තොර ව, පරම්පරා ගණනාවක් තිස්සේ වමාර වමාරා ගිලදැමීම යි. කෙසේ වුවත්, වාර්තාගත අවසන් රහත් යුගය මලියදේව රහතුන්ගේ කාලය ද පසු කොට දිවගොස් ඇත. වාර්තාගත අවසන් රහතුන් එසේ වුව ද වාර්තා නොවූ රහතුන් සිටිය නොහැකි ද!

සැබැවින්ම, අද වුව රහතුන් බිහි විය හැකිය. ඒ සදහා අවශ්‍ය වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුනු කොට සාක්ෂාත් කිරීමයි. මේ සත්‍යය මධ්‍යස්ථව විචාරා රහතුන් අද බිහිවිය නොහැකි යැයි පතල කරන කිසිදු මතවාදයක් අප විසින් ශක්තිමත් නොකළ යුතු ය. මහා සංඝයා විසින් බුදු සසුන හදුනාගන්නා තත්වයට පත් කිරීමටත්, ගිහියන්ගේ කටයුතු සිදු නොකර සැබැ ශාසනික ප්‍රතිරූපය ඉස්මතු වන මුනිවරුන්ගේ සසුනක් බිහි කරවීම පිණිසත්, භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අධිෂ්ඨානශීලිව පෙරගමන් කළ යුතු ය.

‘චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං‘

තෙරුවන් සරණයි!!!